Friday, April 26, 2024

General line - 0115112241

අමෙරිකානු මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් යළි හිස ඔසවයි




අමෙරිකානු මධ්‍ය වාර මැතිවරණය මේ වන විට ලොව පුරා දැඩි අවධානයක් දිනාගෙන තිබෙනවා. ඒ, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ප්‍රධාන භූමිකාවක් හොඹවන රිපබ්ලිකන් පක්ෂය, පාලක ඩිමොක්‍රටික් පක්ෂයට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් සිටීමයි. 

මේ වන විට නිකුත් වී ඇති නවතම වාර්තාවලට අනුව අමෙරිකානු කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල ආසන 208ක් ජයග්‍රහණය කර රිපබ්ලිකන් පක්ෂය පෙරමුණේ පසුවනවා. එහි බහුතරය ලබා ගැනීමට ඔවුන්ට අවශ්‍ය වන්නේ තවත් මන්ත්‍රී ආසන 10ක් පමණයි. ඩිමොක්‍රටික් පක්ෂයට මේ දක්වා දිනා ගත හැකිව ඇත්තේ මන්ත්‍රී ආසන 188ක් පමණයි. අමෙරිකානු කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල ආසන 435ක් ඇති අතර ඉන් 218ක් ජයගන්නා පක්ෂයට එහි බහුතරය හිමිවනවා. 

මේ වන විට උණුසුම් මුහුණුවරක් ගෙන ඇත්තේ සෙනෙට් සභාවේ මන්ත්‍රීවරුන් පත් කරගැනීමට අදාළවයි. මෙම මැතිවරණයෙන් සෙනෙට් සභාවේ මන්ත්‍රී ආසන 100ක් ඇති අතර ඉන් 35 දෙනෙකු තෝරා ගැනෙනු ඇති. මේ වන විට නිකුත් වී ඇති ප්‍රතිඵලවලට අනුව රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් යන පක්ෂ දෙකම එහි සම තත්ත්වයේ පසුවනවා. 

සාමාන්‍යයෙන් අමෙරිකානු මැතිවරණ ඉතිහාසය සැලකීමේදී මධ්‍ය වාර මැතිවරණයෙන් ලැබෙන ප්‍රතිඵලයට සමාන ප්‍රතිඵලයක් ඉන් පසුව පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයේදී දැකිය හැකි වනවා. 

අමෙරිකානු මධ්‍ය වාර මැතිවරණයෙන් පාලක පක්ෂය පරාජයට පත්වුවහොත් එරට තුළ දැඩි අර්බුදයක් මතු වනු ඇති බවටයි විචාරකයින් අනාවැකි පළ කර ඇත්තේ. යම් හෙයකින් එසේවුවහොත් ජනාධිපති ජෝ බයිඩන් ඉදිරිපත් කරන යෝජනා අමෙරිකාවේ කොංග්‍රස් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් පරාජය වීමට වැඩි ඉඩකඩක් පවතිනවා. 

කෙසේවෙතත් අමෙරිකානු මැතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑම් කරන ජෝර්ජියාවේ ඡන්ද විමසීම මෙතෙක් පවත්වා නැහැ. එමෙන්ම සෙනෙට් ආසන තීරණය කරන නෙවාඩා සහ ඇරිසෝනා යන ප්‍රාන්තවල ප්‍රතිඵල ද නිකුත් වීමටයි නියමිතව ඇත්තේ. මෙවන් පසුබිමක ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ තමන් රිපබ්ලිකන් කණ්ඩායම සමග කටයුතු කිරීමට සූදානම් බවයි.