Friday, March 29, 2024

General line - 0115112241

ජපානය ආයුධ බලය නංවයි




ජපානය මේවනවිට සිය ආයුධ සූදානම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කර ඇති බව සිංගප්පූරු පෝස්ට් පුවත්පත වාර්තා කරනවා.

ජපානය මෙලෙස සිය යුධ ශක්තිය ඉහළ නංවමින් ඇත්තේ ආසියානු පැසිෆික් කලාපයේ වර්ධනය වන චීනයේ අනිසි මැදිහත්වීම් වැළැක්වීම සඳහා, ඔස්ට්‍රේ‍ලියාව සමග ආරක්ෂක ගිවිසුමකට ද එළඹ ඇති පසුබිමක් තුළයි. 

සිංගප්පූරු පෝස්ට් පුවත්පත වාර්තා කරන්නේ ජපානය ඉදිරි වසර 05 ක කාලය තුළ සිය සාමකාමී ප්‍රතිපත්තියෙන් ඔබ්බට ගොස් චීනයේ නැගීසිටීමට එරෙහිව සන්නද්ධ වනු ඇති බවයි.  

ජපානය මෙලෙස සිය සන්නද්ධ බලය වැඩිදියුණු කිරීමට පියවර තබමින් සිටින්නේ චින ජනාධිපති ෂී ජින්පින් තුන්වන ධූර කාලයක් සඳහා සිය බලය තහවුරු කර ගැනීමෙන් අනතුරුව වීම විශේෂත්වයක්.

එවන් පසුබිමක් තුළ තායිවානය සමඟ ජපානයේ  සබඳතා අලුත් කර ගැනීම හමුවේ චීනය ද ව්‍යාකූලත්වයට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

එමෙන්ම මතභේදාත්මක සෙන්කාකු දිවයින සම්බන්ධයෙන් චීනය හා ජපානය අතර පවතින මතභේදාත්මක තත්ත්වය ද තවදුරටත් වර්ධනය වෙමින් පවතිනවා.

තායිවානය හා චිනය අතර උද්ගතවන මතභේදාත්මක තත්ත්වයන් හා තායිවාන සමුද්‍ර සන්ධිය තුළ චීනය සිදුකරන ප්‍රකෝපකාරී ක්‍රියා හේතුවෙන් ජපානයේ වෙළඳ ගනුදෙනු මෙන්ම තෙල් සපයන නෞකාවල ගමනාගමන කටයුතු වලට ද බාධා එල්ල වනු ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.