Thursday, April 25, 2024

General line - 0115112241

අමෙරිකානු මධ්‍ය කාලීන මැතිවරණයෙන් ඩිමොක්‍රටික් පක්ෂයට ඓතිහාසික ජයක්




ජෝ බයිඩ්න්ගේ ප්‍රධානත්වයෙන් යුත් අමෙරිකාවේ පාලක පක්ෂය වන ඩිමොක්‍රටික් පක්ෂය ඓතිහාසික ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා. ඒ, ඉකුත් දා පැවැති එරට මධ්‍ය කාලීන මැතිවරණයේ ප්‍රතිපල හමුවේයි.

ජෝ බයිඩ්න්ගේ රජයේ ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කරමින් සෙනට් මණ්ඩලයේ බලය හිමිකර ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත්වී ඇතැවි විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඩිමොක්‍රටික් පක්ෂයට සෙනට් මණ්ඩලයේ බලය හිමිකර දීමට බලපෑ තීරණාත්මක සාධකය වූයේ නෙවාඩා ප්‍රාන්තයේ ඡන්ද ප්‍රතිපලයයි.

ඒ අනුව නෙවාඩා ප්‍රාන්තයේ සෙනට් අසුන ඩිමොක්‍රටික් පක්ෂයට හිමිවීමත් සමග එම පක්ෂය සෙනට් මණ්ඩලයේ සමස්ථ ආසන 50 ක් හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා. විපක්ෂය වන රිපබ්ලිකන් පක්ෂයට හිමිව ඇත්තේ සෙනට් මණ්ඩලයෙන් ආසන 49 ක් පමණක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව වසර 20 ක කාලයක් තුලදී අමෙරිකාවේ පාලක පක්ෂයක් මධ්‍ය කාලීන මැතිවරණයකදී ලද සාර්ථකම ප්‍රතිපලය මෙය බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

ජයග්‍රහණයේ සතුට සමරමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පැවසුවේ මැතිවරණ ප්‍රතිපල සම්බන්ධයෙන් තමන් අතිශය සතුටට පත්වන බවයි. එමෙන්ම රිපබ්ලිකන් පක්ෂයට ඔවුන් කවුරුන්දැයි තීරණය කිරීමට කාලය පැමිණ ඇති බව ද ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබුණා.