Tuesday, April 16, 2024

General line - 0115112241

පිලිපීන බිළිදියක් ලෝක ජනගහනය බිලියන 8 සීමාවට රැගෙන යයි




ලෝක ජනගහනය බිලියන 8කට ළගා වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. ලෝක ජනගහනය බිලියන 8ක සීමාව කරා රැගෙන ගොස් ඇත්තේ පිලිපීනයේ මැනිලා නුවරදී අද අලුයම 1යි 29ට උපන් ගැහැණු දරුවෙකුයි. ඒ අනුව වසර 11කදී ලෝක ජනගහනය බිලියන 7 සිට 8 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

කෙසේවෙතත් 20 වන ශතවර්ෂය වන විට ලෝක ජනගහනයේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළද මේ වන විට එය මන්දගාමී වී ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ.

මධ්‍යම ආදායම් ලබන රටවල් විශේෂයෙන්ම ආසියානු කලාපය ආශ්‍රිතව මේ වන විට වැඩිම ජනගහනයක් පෙන්නුම් කරන බවත් මිලියන 180ක ජනගහනයක් වෙසෙන ඉන්දියාව ලබන වසර වන විට චීනය අභිබවා ලෝකයේ වැඩිම ජනගහනයක් වෙසෙන රට බවට පත්වන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර ලෝක ජනගහනය බිලියන 9 කරා ළගාවීමට තවත් වසර 15ක් පමණ ගතවනු ඇති බවත් 2080 වන විට ලෝක ජනගහනය බිලියන 10යක සීමාව කරා ළගා වන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා අනුව ලෝක ජනගහනයෙන් වැඩිම පිරිසක් වෙසෙන රටවල් අතර චීනය පසුවන්නේ පළමු ස්ථානයේයි. පිළිවෙලින් ඉන්දියාව, අමෙරිකා එක්සත් ජනපදය, ඉන්දුනීසියාව, පකිස්ථානය, බ්‍රසීලය, නයිජීරියා, බංග්ලාදේශය, රුසියාව සහ මෙක්සිකෝව ලෝක ජනගහන ලැයිස්තුවේ මුල් 10 දෙනා අතර සිටිනවා.