Saturday, April 20, 2024

General line - 0115112241

සුප්‍රකට ට්විටර් සමාජ ජාලය බිද වැටීමේ අවධානමක්




ලොව සුප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් වන ට්විටර් හදිසියේ බිද වැටීමේ අවධානමක් මතුව තිබෙනවා. ඒ, එහි සේවකයින්ගෙන් බහුතරයක් ට්විටර් අතහැර යාමේ අවධානමත් සමගයි. 

මෙම තත්ත්වය මතුවූයේ ට්විටර් සමාගමේ කාර්යාල ගොඩනැගිලි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දමන බවට ලොව ධනවතා වන ට්විටර් සමාගමේ නව හිමිකරු එලෝන් මස්ක් සිය සේවකයන්ට දැනුම් දීමත් සමගයි. කෙසේවෙතත් එලෙස වසා දැමූ කාර්යාල එළඹෙන සදුදා යළි විවෘත කරනු ඇති. මෙලෙස කාර්යාල වසා දමා ඇත්තේ කිසිදු හේතු දැක්වීමකින් තොරවයි.

එලොන් මස්ක්, සිය සේවකයින්ට විද්‍යුත් තැපැල් පණිවිඩ මගින් දැනුම් දී ඇත්තේ දිනකට වැඩි වේලාවක් කැපවීමකින් යුතුව කටයුතු කළ යුතු බවයි. එසේ කළ නොහැකි පුද්ගලයන්ට සේවයෙන් ඉවත් වන ලෙසත් ඔහු දන්වා තිබෙනවා. මෙම තීරණය සමග එකග වන සේවකයින් ආයතනයේ රැදී සිටීම සදහා ප්‍රතිඥාවක් දිය යුතු බවත් එසේ එකග නොවන සේවකයින් මාස තුනක වැටුප් ගෙවා සේවයෙන් ඉවත් කරන බවත් එලෝන් මස්ක් සිය නිවේදනය ඔස්සේ දැනුම් දී තිබෙනවා.

විවිධ මාධ්‍යවල, පුවත්පත් හෝ වෙනත් ස්ථානවල සමාගම් රහස්‍ය තොරතුරු සාකච්ඡා කිරිමෙන් වලකින ලෙසටයි සිය සේවකයින්ගෙන් ඉල්ලා ඇත්තේ. කෙසේවෙතත් නව හිමිකාරීත්ව විසින් ඉදිරිපත් කරන කොන්දේසි හමුවේ ට්විටර් සමාගමේ වැඩි සේවක සංඛ්‍යාවක් ඉන් ඉවත්ව යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

අමෙරිකානු ඩොලර් බිලියන 44ක ගනුදෙනුවකින් පසුව එලෝන් මස්ක් විසින් ට්විටර් සමාගම පසුගිය මාසයේ හිමි කරගත්තා. එහි සියයට 50ක සේවක කප්පාදුවක් සිදු කිරීමටයි මෙම මස මුලදීම තීරණය කළේ. පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ට්විටර් සමාගමේ ආදායම පහළ ගොස් ඇති පසුබිමක් තුළ සාර්ථක වීම සදහා දැඩි ලෙස කැපවිය යුතු බවයි ට්විටර් සමාගමේ නව හිමිකරු නිවේදනය කරන්නේ.