Friday, April 26, 2024

General line - 0115112241

ඇමති කෙහෙළිය ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක්




ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මුදල් වැයකොට දේශපාලන කටයුතු සඳහා ජී.අයි. පයිප්ප බට මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට වත්මන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ එම සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ, හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ යන අයට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දුන්නා.

අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට නඩුව අවසන් වනතුරු විදේශගත වීම වළක්වමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් විදෙස් ගමන් තහනමක් ද ආගමන හා විගමන පාලකවරයා වෙත නිකුත් කළා.

ඉන් පසුව එක් එක් විත්තිකරුවන් රුපියල් 20,000 බැගින්වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද නියෝග කළ විනිසුරුවරයා ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දිය යුතු බවටත් නියෝග කර සිටියා.

කෙසේ වෙතත් විත්තිකාර අමාත්‍යවරයාට රාජකාරි කටයුතු සඳහා විදේශගත වීමට අවශ්‍ය වන්නේ නම් ඒ පිළිබඳව අධිකරණයෙන් ඉල්ලීම් කළ හොත් සලකා බැලීමට සූදානම් බවත් විනිසුරුවරයා සඳහන් කර සිටියා.

අනතුරුව නඩුව පූර්ව නඩු විභාගය සම්මන්ත්‍රණය සඳහා පෙබරවාරි මස 01 වනදා කැදවන ලෙසත් නියම කළා.