Friday, April 26, 2024

General line - 0115112241

පකිස්ථානයේ ණය බර අහස උසට යයි




පකිස්තානයේ ණය බර අඛණ්ඩව ඉහළ ගොස් ණය පැහැර හැරීමේ අවධානම බැරෑරුම් තත්ත්වයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

සතියක් තුළදී පකිස්ථානයේ ණය පැහැර හැරීම් සියයට 30 කින් ඉහළ ගොස් ඇති බවයි එම මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව ණය ආපසු ගෙවීමේ කාලසීමාව අභියසට පැමිණ සිටින පකිස්ථානයේ ණය පැහැර හැරීම් සීමාව සියයට 93 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පකිස්ථානයේ ණය පැහැර හැරීම් මෙලෙස අඛණ්ඩව ඉහළ යාම ජාත්‍යන්තර වශයෙන් එරට ප්‍රතිරූපයට දැඩි ලෙස හානි කර තත්ත්වයක් උද්ගත කරන බවයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

ණය පැහැර හැරීම් අඛණ්ඩව ඉහළ යාම හමුවේ ජාත්‍යන්තර ආයෝජකයන් තුළ පකිස්තානය සම්බන්ධයෙන් ඇතිවන්නේ ඍණාත්මක තත්ත්වයක්.

එමගින් පකිස්තානයට ණය ගෙවීමේ ඇති හැකියාව කෙසේද යන්න පෙන්නුම් කරන බවත්, ජාත්‍යන්තර වගකීම් පැහැර හැරීම හමුවේ පකිස්තානය අවදානම් තත්ත්වයකට ඇද වැටෙන් බවත් ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

එමෙන්ම පකිස්ථානයේ පවතින දේශපාලන අස්ථාවරත්වය එරට ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රට තුළ ස්වෛරී ඩොලර් බැදුම්කර පවතින්නේ අවදානම් තත්ත්වයක බව එරට ආර්ථික දත්ත පෙන්නුම් කරනවා.
 
පකිස්ථානයේ විදේශ සංචිත සීග්‍රයෙන් පහළ යමින් ඇති අතර නොවැම්බර් 11 වනදා වනවිට පකිස්ථානයේ විදේශ සංචිත පැවතුනේ අමෙරිකානු ඩොලර් බිලියන 7.959 ක් ලෙසයි.


එය ප්‍රමාණවත් වන්නේ තවත් සති 06 ක ආනයනයන් සදහා පමණක් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.