Friday, March 29, 2024

General line - 0115112241

පාපන්දු ලෝක කුසලානයේ තවත් පෙරළියක් - ප්‍රබල ජර්මනිය, ජපානයට පරදී




පාපන්දු ලෝක කුසලානයේ තවත් පෙරලිකාර ජයක් වාර්තා කරමින් ප්‍රබල ජර්මනිය පරදා ජපානය සුපිරි ජයක් වාර්තා කළා. අවස්ථා 4කදී පාපන්දු ලෝක ශූරයින් සහ තවත් අවස්ථා 4කදී ලෝක අනුශූරයින් වී ඇති ජර්මනිය මෙම තරගයට පිවිසියේම ඔවුන් තරගය ජයගනු ඇති බවට පළවූ අනාවැකි රැසක් මධ්‍යයේයි.

කෙසේවෙතත් තරගයේ මුල් භාගයේ සිට ජර්මනියට ප්‍රබල අභියෝගයක් එල්ල කළ ජපානය තරගය නිම කළේ ගෝල 2-1ක් ලෙසයි.

මීට පෙර ප්‍රබල ආර්ජන්ටිනාව පරාජය කරමින් සෞදි අරාබියද මෙවැනිම පෙරලිකාර ජයක් වාර්තා කළා.

ඊයේ පැවති පළමු තරගයෙන් ඕස්ට්‍රේලියාව ගෝල 1-4ක් ලෙස පරාජය කිරීමට ප්‍රබල ප්‍රංශය සමත් වුණා. වත්මන් ලෝක අනුශූර ක්‍රොවේෂියාව සමග පැවති තරගය ජයපරාජයෙන් තොරව නිමා කර ගැනීමට මොරොක්කෝව සමත් වීමද කැපී පෙනෙන සිද්ධියක්.

කොස්ටරිකා කණ්ඩායම සමග පැවති තරගයෙන් ගෝල 7-0ක් ලෙස දැවැන්ත ජයක් වාර්තා කිරීමට ස්පාඤ්ඤය සමත් වුණා. එය සැලකෙන්නේ මෙවර පාපන්දු ලෝක කුසලානයේ මෙතෙක් වාර්තා වූ ඉහළම ජයග්‍රහණය ලෙසයි.

අද අලුයම පැවති තරගයකින් කැනඩාව ගෝල 1-0ක් ලෙස පරාජය කිරීමට බෙල්ජියම සමත් වුණා.