Saturday, April 20, 2024

General line - 0115112241

අදුරට එරෙහිව පකිස්තානය පුරා විරෝධතා 




පකිස්තාන රජයට එරෙහිව එරට ජනතාව වීථි බැස සිටින අතර රටපුරා මහජන විරෝධතා මාලාවක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජනතාව එලෙස විරෝධතාවයේ නිරත වී සිටින්නේ විදුලිය විසන්ධි කිරීම්, මහජනතාව මත විදුලිබල සැමයුම සදහා බර පැටවීම මෙන්ම අඩු වෝල්ටීයතාවයක් ඔස්සේ විදුලි සැපයුම ලබාදීමට එරෙහිවයි.

පකිස්ථානයේ Gharibabad හා Qalat යන ප්‍රදේශවල වැසියන් දීර්ග කාලයක සිට විදුලි හා ගෑස් සැපයුම සම්බන්ධයෙන් අර්බුදයකට මුහුණ පා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජනතාව මේ සම්බන්ධයෙන් බලධාරීන්ට කොතරම් පැමිණිලි ඉදිරිපත් කළ ද ජනතාවගේ  ගැටළු විසදීමට පකිස්තාන බලධාරීන් අපොහොසත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ හමුවේ කලකිරීමට පත්ව සිටින ජනතාව වීථි බැස විරෝධතාවයේ නිරතව සිටින බවයි වාර්තා වන්නේ.

කාන්තාවන් සිය දරුවන් ද රැගෙන වීථිවලට රැස්වී විරෝධතා පැවැත්වීම හේතුවෙන් මාර්ග රැසක් අවහිර වී ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා.
 
කරච්චි නුවර හා කෙටා හරහා දිවෙන ප්‍රධාන මාර්ගය අවහිර වීමෙන් ගමනාගමනයට දැඩි බලපෑම් එල්ල වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Gharibabad හි ට්‍රාන්ස්ෆෝමරයක් ඉකුත් මාසයේදී ගිනි ගැනීමකට ලක්ව ඇති අතර එය අලුත්වැඩියා කිරීමට බලධාරීන් මෙතෙක් පියවර ගෙන නැහැ.

ඒ හමුවේ ප්‍රදේශ රැසකට විදුලිබල සැපයුම විසන්ධි වී තිබෙනවා.

එම ට්‍රාන්ස්ෆෝමරය හානියට පත්වූ අවස්ථා ගණනකදී ජනතාව සිය මුදල්වලින් එය අලුත්වැඩියා කර තිබුණා.

එහෙත් ජනතාව තවදුරටත් ඒ සදහා මුදල් වැය නොකරන පසුබිමක් තුළ අදාල සමාගම ද එය අලුත්වැඩියා නොකරන බවටයි චෝදනා එල්ල වන්නේ.

මේ Regi ප්‍රදේශයේ ජනතාව ද විදුලි සැපයුම බිද වැටීමට එරෙහිව වීථි බැස විරෝධතාවයේ නිරතව සිටිනවා.

ඔවුන් පවසන්නේ සිය ගැටලුවලට බලධාරීන් විසදුම් ලබා නොදෙන්නේ නම් එළඹෙන මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම වර්ජනය කරන බවයි.

එමෙන්ම ඔවුන් ටයර් පුලුස්සමින් ප්‍රධාන මාර්ග අවහිර කරමින් විරෝධතාවයේ නිරත වී තිබෙනවා.