Thursday, April 18, 2024

General line - 0115112241

දුම්රිය අනතුරු වලින් පුද්ගල මරණ 03ක්




දුම්රිය හරස් මාර්ග දෙකකදී සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙක් අද ජීවිතක්ෂයට පත් වුණා. ඒ අතර රුසියානු ජාතික කාන්තාවක්ද වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

එක් අනතුරක් සිදු වුණේ ගාල්ල, උණවටුන දුම්රිය ස්ථානය ආසන්න හරස් මාර්ගයකදීයි. බෙලිඅත්ත සිට අනුරාධපුරය බලා ධාවනය වෙමින් තිබූ රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රියේ ත්‍රීරෝද රථයක් ගැටීමෙන් එම අනතුර සිදුව තිබෙනවා.

එම ත්‍රීරෝද රථයේ රියදුරා සහ එහි ගමන් ගත් රුසියානු ජාතික කාන්තාවක් ජීවිතක්ෂයට පත් වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර ගල්කිස්ස සිට කන්කසන්තුරය බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ කුඩා බස් රථයක් ගැටීමෙන් අනෙක් අනතුර සිදුව තිබෙනවා. එම අනතුරින් බස්රථයේ රියදුරා මියගොස් ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
 
නාවක්කුලිය දුම්රිය හරස්මාර්ගය ආසන්නයේදී එම අනතුර සිදුව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේදී එම බස් රථයේ ගමන් කර ඇත්තේ එහි රියදුරු පමණක් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.