Thursday, March 28, 2024

General line - 0115112241

බිල වැඩි කරද්දී රටේ විදුලි පරිභෝජනය අඩුවෙයි




රට තුළ විදුලි පරිභෝජනය අඩු වී ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය සිදුකළ සමීක්ෂණයකදී අනාවරණවී තිබෙනවා. එහි ප්‍රධාන කාරණයක් වන්නේ ගෘහාශ්‍රිත විදුලි පරිභෝජනය පමණක් නොව කර්මාන්ත ආශ්‍රිත විදුලි පරිභෝජනය ද අඩුවී තිබීමයි. 

රටේ ආර්ථිකයට සෘජු දායකත්වයක් දක්වන කර්මාන්ත ක්ෂේත්‍රයේ විදුලි පරිභෝජනය අඩුවීම එහි නිෂ්පාදනවලට එල්ලකරන්නේ සෘජු බලපෑමක්.

විදුලි බිල වැඩිවීමත් සමඟ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම කර්මාන්ත ක්ෂේත්‍රයේ විදුලි පරිභෝජනය අඩුවීමට හේතුවක් වන්නට ඇති බවටයි සැලකෙන්නේ. එලෙස නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හමුවේ නිෂ්පාදනවල මිල ගණන් ද වැඩිවී පාරිභෝගිකයින් ඒවා මිලදී ගැනීම අඩුවීමට ද හේතුවක් වී තිබෙනවා.

මෙවන් පසුබිමක යළිත් වරක් ලබන ජනවාරි සහ ජුනි මාසවලදී විදුලි බිල ඉහළ දැමීමටයි ආණ්ඩුව සූදානම් වන්නේ. ඒ, ලංකා විදුලිබල මණ්ඩලය ලබන පාඩුව අවම කර ගැනීමේ අරමුණින්.

විදුලි පරිභෝජනය මෙලෙස අඩුවෙමින් ඇති පසුබිමක බිල වැඩිකිරීමෙන් අපේක්ෂිත ආදායම උපයාගත හැකිද ? නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ජේ්‍යෂ්ඨ නිලධාරියෙකුගෙන් විමසීමක් කළා. ඔහු අවධාරණය කළේ පවතින තත්ත්වය හමුවේ විදුලි බිල වැඩිකිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

ඒ අනුව විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් විදුලි බිල වැඩි කිරීම සදහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලබාගැනීමට අදාළ කටයුතු ද සිදුකිරීමටයි තීරණය කර ඇත්තේ. කෙසේවෙතත් විදුලි බිල වැඩි කිරීමට මේ මොහොතේ අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

එහි සභාපති ජනක රත්නායක පෙන්වා දුන්නේ තමන් සතුව පවතින දත්ත අනුව එලෙස විදුලි බිල වැඩි කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි. විදුලි බිල වැඩි කිරීම සදහා විදුලි බල මණ්ඩලය සිය කොමිසමෙන් මෙතෙක් ඉල්ලීමක් සිදු කර නොමැති බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.

මේ වන විට ලංකා විදුලි බල මණ්ඩලය විවිධ පාර්ශවයන්ට ගෙවිය යුතු මුදල රුපියල් බිලියන 650කට ආසන්නවී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. ඒ අනුව දැනට පවතින පාඩුව පියවා ගැනීමට විදුලි බිල සියයට 70කින් පමණ වැඩි විය යුතු බව ලංකා විදුලි බල මණ්ඩලයේ යෝජනාවයි.