Saturday, April 20, 2024

General line - 0115112241

රුපියල් 3,500කට හිටපු මහේස්ත්‍රාත්වරියක් සිර ගෙදරට




ගාල්ල හිටපු මහේස්ත්‍රාත් ඩී. එස්. මෙරිංචිආරච්චිට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර පහක් බැගින් සිර සිරදඬුවම් නියම කර තිබෙනවා. ඒ, සුරාබදු වැරදි සඳහා අය කරන දඩ මුදල් අඩුවෙන් සටහන් කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් පවරා තිබු නඩු දෙකකට වරදකරු කරමින්.

එමෙන්ම අධිකරණය මඟහැර සිටින විත්තිකාරිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තු ද නිකුත් කරන ලෙසයි කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා නියෝග කර ඇත්තේ. ඊට අමතරව විත්තිකාරියට රුපියල් 22500 ක දඩයක් ද නියම කලා. විත්තිකාරිය අධිකරණය මගහැර සිටින අතර ඇය නොමැතිව මෙම නඩු විභාගය පැවැත්වුණා. 

2000 වසරේ අප්‍රේල් මස 4 වනදා සහ පස්වනදා අතර කාලය තුළ සුරාබදු නඩුවක් සඳහා නියම කෙරුණු රුපියල්  7500 ක දඩ මුදලක් 1500 ක් ලෙස සටහන් කිරීමෙන් සහ තවත් නඩුවකට නියම කෙරුණු රුපියල් 5000 දඩ මුදලක් 1500 ක් ලෙස අඩුවෙන් සටහන් කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ රාජ්‍ය මුදල් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකාරියට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇතැයි තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා අනතුරුව මෙම දඩුවම නියම කළා.