Saturday, April 20, 2024

General line - 0115112241

හිටපු SSP ශානි අබේසේකර ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නීතිපතිවරයා ගෙන් අධිකරණයට දැනුම් දීමක් 




අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය නිලධාරීන් යෙදවීමට පියවර ගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දන්වා සිටියා.

සිය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශානි අබේසේකර විසින් ගොනුකළ පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදි අතිරේක සොලිස්ටර් ජනරාල් රොහන්ත අබේසූරිය මහතා මෙම දැනුම්දීම සිදුකළා.

මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටියේ පෙත්සම්කාර ශානි අබේසේකර ගේ ආරක්ෂාව සඳහා ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් දෙදෙනකු ලබාදීමට කටයුතු කරන බවයි. ඊට අමතරව නිවසේ ආරක්ෂාව සඳහා එක් නිලධාරියෙකු ලබාදීමට කටයුතු කරන බවත් ඔහු දන්වා සිටියා.

එමෙන්ම සිය පදිංචි ස්ථානය වෙනස් කිරීමට පෙත්සම්කාර ශානි අබේසේකර කැමැත්ත දක්වන්නේ නම් ඒ සඳහා වෙනස් ස්ථානයක් ලබා දීමටත් සූදානම් බවයි වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් වරයා දන්වා සිටියේ.

මෙහිදී ශානි අබේසේකර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම දැනුම් දීම සම්බන්ධයෙන් තම සේවාදායකයා සෑහීමට පත්වන බව දන්වා සිටියා.

කෙසේ වෙතත් එම ප්‍රතිඥාව ඉටු නොවන්නේ නම් වගඋත්තරකරුවන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ යටතේ කටයුතු කිරීමට පියවර ගන්නා බවද ජනාධිපති නීතිඥවරයා දන්වා සිටියා. අනතුරුව අදාළ පෙත්සම දෙසැම්බර් මස 15 වනදා කැඳවන බවත් නියෝග කෙරුණා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කාර ශානි අබේසේකර මහතා කියා සිටින්නේ තමන්ට ජීවිත තර්ජන එල්ල වී ඇති බැවින් ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස තමන් විසින් වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය වෙත ඉල්ලීමක් කළ බවයි.

එම අධිකාරිය විසින් ඒ පිළිබඳව පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණත් තමන්ට විධිමත් ආරක්ෂාවක් මේ දක්වා ලැබී නොමැති බවයි ශානි අබේසේකර කියා සිටින්නේ.

එබැවින් තමන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග නිකුත් කරන ලෙසත් ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.