Saturday, April 20, 2024

General line - 0115112241

වකුගඩු ජාවාරමට සම්බන්ධ තැරැව්කරු රිමාන්ඩ් -සැකකටයුතු රෝහලේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින් 06 කට විදෙස් ගමන් තහනම්




වකුගඩු ජාවාරම් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තැරැව්කරුවකු බව කියන පුද්ගලයෙකු ලබන 13 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය අද නියෝග කළා. අදාළ සැකකරු එදින හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා යොමු කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන්ට එහිදී නියෝග කළේ.

ඊයේ දින කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් අදාළ සැකකරු අද දින ආවරණය කොට අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

කොළඹ අපරාධ කොට්ඨාශය වෙනුවෙන් පෙනී සිටි ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම නඩුකරය මෙරට අපරාධ ඉතිහාසයේ සුවිශේෂී නඩු කටයුත්තක් බවයි. 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දැක්වූයේ මෙලෙසයි. 

ඉන් අනතුරුව අධිකරණය හමුවේ ඉල්ලීමක් ඉදිරිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දීලීප පිරිස් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තැරැව්කාර සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කොට හදුනාගැනීමේ පෙරෙට්ටුවක් සදහා යොමු කිරීම සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියා.

එමෙන්ම මෙම සිද්ධියට සම්බන්ධ බොරැල්ල ප්‍රදේශයේ පිහිටි වකුගඩු ජාවාරමට සම්බන්ධ රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් හය දෙනෙකු විමර්ශන කටයුතු හමුවේ රටින් පළා යාමේ අවදානමක් පවතින හෙයින් ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය අදාළ තැරැව්කාර සැකකරු ලබන 13 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි එහිදී නියෝග කළේ.

එමෙන්ම මෙම සිද්ධියට සම්බන්ධ බොරැල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් 6 දෙනෙකු විදේශගත වීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය ඒ පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා දැනුවත් කරන ලෙස ද එහිදී නියෝග කළා.