Tuesday, May 21, 2024

General line - 0115112241

අයවැය තුන්වනවර ඡන්ද විමසීම අද පස්වරුවේ




2023 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය විවාදයේ තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරු 05 ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.

නිදහස් ශ්‍රී ලංකාවේ 77වන අයවැය ලෙස මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පසුගිය නොවැම්බර් 14 වනදායි. 


ඉන් අනතුරුව නොවැම්බර් 15 වනදා සිට 22 වෙනිදා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වුණා.

එදින පස්වරුවේ පැවති අයවැය දෙවන වර කියවිම පාර්ලිමේන්තුවේදි සම්මත වුණේ වැඩි ඡන්ද 37 කින්.

අයවැයට පක්ෂව ඡන්ද 121 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 84 ක්. ආණ්ඩු පක්ෂයේ අසුන් ගෙන සිටින සියලුම මන්ත්‍රීවරුන් එහිදී අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන්නා. 


විපක්ෂයේ අසුන් ගෙන සිටින මන්ත්‍රිවරුන් 06 දෙනෙකු ද අයවැයට පක්ෂව ඡන්දය ලබාදීම විශේෂත්වයක්. 

දුමින්ද දිසානායක, ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න, ජීවන් තොණ්ඩමන්, ප්‍රියංකර ජයරත්න, එම් රාමේෂ්වරන් සහ අලි සබ්රි රහීම් එම මන්ත්‍රීවරුන් 06 දෙනායි.

සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය නියෝජනය කරන මන්ත්‍රිවරුන් අයවැයට විරුද්ධව ඡන්දය ලබාදුන්නා. 

දෙමළ සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ රැඳී සිටියේ නැහැ.

සී වී විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා අයවැය ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේ සභා ගර්භයේ රැඳී සිටියද ඔහු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. 


ඉන් අනතුරුව නොවැම්බර් මස 23 වනදා සිට අයවැය කාරක සභා අවස්ථාව හෙවත් තුන්වන වර කියවීම ආරම්භ වුණා.

එම විවාදය අද පස්වරු 07 දක්වා පැවැත්වීමෙන් අනතුරුව අයවැය තුන්වනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. 


එළඹෙන වසර සදහා රජයේ ඇස්තමේන්තු ගත වියදම රුපියල් බිලියන 7,885ක් වන අතර එය 2022 වසරට සාපේක්ෂව බිලියන 1,785ක වැඩිවීමක්.

ඒ අනුව එහි වැඩිවීම ප්‍රතිශතයක් ලෙස දැක්වුණේ සියයට 29යි දශම 2ක් ලෙසයි. 


මේ අතර ලබන වසර සදහා වන අයවැයේ පුනරාවර්ථන වියදම් ලෙස බිලියන 2,442ක් ඇස්තමේන්තු ගත කර ඇති අතර ප්‍රාග්ධන වියදම් සදහා රුපියල් බිලියන 1,225ක් ඇස්තමේන්තු ගත කර තිබෙනවා.

ණය වාරික සහ පොලී සදහා රුපියල් බිලියන 4,218ක මුදලක් ඇස්තමේන්තු ගත කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය පැවසුවේ.    


මේ අතර අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන අද දිනයේ පාර්ලිමේන්තුව අවට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට තීරණය කර තිබෙනවා. 


පර්ලිමේන්තුව අද පෙරවරු 09 යි 30 ට රැස්වනවා.