Wednesday, April 24, 2024

General line - 0115112241

සන්ධාන මහලේකම් ධූරයෙන් ඉවත් කිරීමට එරෙහිව අමරවීර අධිකරණයට




එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් ධුරයෙන් තමන්ව ඉවත් කිරීමේ තීරණය අත්හිටුවන්නැයි ඉල්ලා අමාත්‍ය මහින්ද අමරවීර කොළඹ දිසා අධිකරණය හමුවේ ඉල්ලීමක් ඉදිරිපත් කළා.

එම ඉල්ලීම සලකා බැලූ  කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම එම සන්ධානයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු විත්තිකරුවන්ට ජනවාරි 11 වන දින අධිකරණයට කරුණු දක්වන්නැයි දන්වා අතුරු තහනම් දැන්වීම් හා නොතීසි  නිකුත් කළා.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා, දයාසිරි ජයසේකර,  තිලංග සුමතිපාල ඇතුළු පිරිසක් නම් කර තිබූ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මෙම නඩුව කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම ඉදිරියේ අද පස්වරුවේ මෙම පැමිණිල්ල විභාගයට ගනු ලැබුවා.

එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විත්තිය වෙනුවෙන් මූලික විරෝධතාවක් මතු කර සිටියා.

එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ සාමාජික පක්ෂ රැසක් සිටින අතර එම පක්ෂ මෙම නඩුවේ පාර්ශ්වකරුවන් කර නොමැති බැවින් නඩුව පවරා පවත්වාගෙන යෑමට හැකියාවක් නොමැති බව එම මූලික විරෝධතාවලින් සටහන් කර තිබුණා.


ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරිය විත්තිකරුවන්ට එරෙහිව අතුරු තහනම් දැන්වීම් නොතීසි පමණක් නිකුත් කිරීමට තීරණය කළ අතර ජනවාරි 11 වන දින අධිකරණය කරනු දක්වන ලෙස දන්වා විත්තිකරුවන්ට නියම කළා.