Wednesday, April 24, 2024

General line - 0115112241

විෂ දුම් බලපෑම තවත් දින කිහිපයක්




පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් අද දිනයේ සියලු පාසැල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයෙන් කළ විමසීම්වලට අනුව මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව සියලුම රජයේ සහ රජයේ ආධාර ලබන පාසැල් රජයේ අනුමත සියලු පෞද්ගලික පාසැල් අද දින වසා තැබෙනවා. ඉන්දියාවේ දිල්ලි නුවර අයහපත් වායු දූෂණයේ බලපෑම ශ්‍රී ලංකාවට එල්ල වූයේ පෙරේදා දිනයේ සිටයි. ඒ, බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “මැන්ඩවූස්” සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන්.

ඉන්දීය වායු දූෂණයේ බලපෑම ඊයේ දිනයේ උපරිම අගයකට පැමිණ තිබුණා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඊයේ තහවුරු කළේ කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 16 ක වායුව දූෂණය වී ඇති බවයි. 

සාමාන්‍යයෙන් වායුගෝලයේ පවතින දූවිලි අංශු මට්ටම මිනිස් සිරුරට ඍජුව බලපෑම් එල්ල කරනවා. වායු දර්ශකයේ ගුණාත්මකභාවය 0 ත් 50 ත් අතර පවතින්නේ නම් එය යහපත් මට්ටමක්. 51 සිට වැඩිවන සෑම අගයක්ම සිරුරට අයහපත් වන අතර එය 151 සීමාව ඉක්මවා ඇත්නම් එය ඉතා ප්‍රබල අයහපත් වායු දූෂණ තත්ත්වයක්. ඊයේ වනවිට මෙරට නගර 11 ක වායු දූෂණ මට්ටම 151 සීමාව ඉක්මවා ගොස් තිබුණා. ඉන් කොළඹ අගය දැක්වුණේ 246 ක් ලෙසයි.

මීට අමතරව මුලතිව්, වව්නියාව, යාපනය හා ත්‍රීකුණාමලය යන දිස්ත්‍රික්කවල එම අගය 200 සීමාව ඉක්මවා තිබුණා. ඒ අනුවයි අද දිනයේ සියලු පාසල් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර ඇත්තේ. 

මෙරට වායුගෝලයේ පවතින වායු දූෂණ මට්ටම හේතුවෙන් පාසැල් සිසුන් ක්‍රීඩා පිට්ටනිවල ඇතුලු එළිමහනේ සිදුකරන ක්‍රියාකාරකම් අවම කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ විසින් පාසැල් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එමෙන්ම සෞඛ්‍ය ආරක්‍ෂාව සඳහා තවදුරටත් මුව ආවරණ පළදින්නැයි ද ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

වයස්ගත පුද්ගලයින්, කුඩා දරුවන්, ගර්භණී මව්වරුන් ඇතුලු අවදානම් කාණ්ඩයේ රෝගීන් නිවෙස්වලින් පිටතටයාම හැකිතාක් සීමා කරන ලෙසයි වෛද්‍යවරුන් ඉල්ලා සිටින්නේ. 

නෙත් නිවුස් කළ විමසීමකදී පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුවේ මෙරට වායුගෝලයේ පවතින වායු දූෂණ මට්ටමතවත් දින කිහිපයක් පවතිනු ඇති බවයි.

වායු දූෂණ තත්ත්වය හට ගැණුනේ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරකම් හේතුවෙන් නොවන බවත්, ඊට විසදුම් සෙවිය යුත්තේ ජාත්‍යන්තර වශයෙන් බවත් පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ එහිදී වැඩිදුටත් සඳහන් කළා.

කෙසේවෙතත් ඊයේ පෙරවරුවේ දිවයිනේ පැවති වායු දූෂණ මට්ටම ඊයේ පස්වරුවේ වන විට බොහෝ නගරවල සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබුණා. එහෙත් ඊයේ රාත්‍රියේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සීත කාලගුණයක් පැවති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.