Wednesday, May 22, 2024

General line - 0115112241

සුළි කුණාටුව නිසා ඉන්දියාවේ සීතලත් ශ්‍රී ලංකාවට




ඉන්දියාවේ වායු දූෂණය හේතුවෙන් බලපෑම් එල්ල වූ මෙරට වායුගෝලයේ වායු දූෂණ මට්ටම ක්‍රමයෙන් යහපත් වෙමින් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එහි පරිසර අංශයේ අධ්‍යක්‍ෂ සරත් ප්‍රේමසිරි පැවසුවේ ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ග්‍රාමීය ප්‍රදේශවල වායුවේ තත්ත්වය යහපත් වී ඇති බවත්, නාගරික ප්‍රදේශවල තත්ත්වය සාමාන්‍ය මට්ටමක පවතින බවයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙරවරු 11 යි 41 ට නිකුත් කළ නවතම වායුගෝලීය දත්ත වාර්තාවලට අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ වායු දූෂණ මට්ටම සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක පවතිනවා. එහි අගය 53 ක් වනවා. සාමාන්‍යයෙන් වායු දූෂණ මට්ටමට අනුව 57 ත් 70 ත් අතර අගයක් යනු ඕනෑම පුද්ගලයෙකුගේ සෞඛ්‍යයට බලපෑම් එල්ල කළ හැකි තත්ත්වයක්.

සංවේදී පුද්ගලයෙකුට මෙම තත්ත්වයේදී වඩාත් බරපතල සෞඛ්‍ය බලපෑම් එල්ල විය හැකි බවටයි පැවසෙන්නේ. 
මීට අමතරව යම් අවදානම් මට්ටමක් හෝ පවතින සෙසු නගර වන්නේ  බත්තරමුල්ල සහ කෑගල්ල යන නගරවල පමණයි. බත්තරමුල්ල නගරයේ වායුගෝලයේ දූෂණ මටට්ම 44 ක පවතින අතර කෑගල්ල ප්‍රදේශයේ අගය 41 ක්. බදුල්ල නගරයේ අගය 36 ක් ලෙසයි දැක්වුණේ. 

සාමාන්‍යයෙන් වායුගෝලයේ වායු දර්ශක තත්ත්ව මට්ටමට අනුව 36 ත් 52 ත් අතර අගය සැලකෙන්නේ සාමාන්‍ය ජනතාවට බලපෑමක් ඇති නොවන තත්ත්වයක් ලෙසයි. එහෙත් සංවේදී කණ්ඩායම්වලට තවදුරටත් බලපෑම් ඇතිවිය හැකි තත්ත්වයක් ලෙස එය නම් කර තිබෙනවා. ඊට අමතරව වායු දර්ශක තත්ත්ව මට්ටමට අනුව දඹුල්ල සහ යාපනය මධ්‍යස්ථ අගයක පවතිනවා. දඹුල්ලේ එම අගය 30 ක් වන අතර යාපනයේ එම අගය 29 ක් ලෙසයි දැක්වෙන්නේ. 

සාමාන්‍යයෙන් වායුගෝලයේ වායු දර්ශක තත්ත්ව මට්ටමට අනුව 18 ත් 35 ත් අතර අගය සැලකෙන්නේ වාතයේ ගුණාත්මකභාවයේ පිළිගත හැකි තත්ත්වයක් ලෙසයි. එහෙත් වායුව දූෂණයට ලක්වූ අවස්ථාවේදී සංවේදී වන ඉතා සුළු පිරිසක් මෙම තත්ත්වයේදී ද සැලකිලිමත් විය යුතු බවටයි වායු දර්ශක තත්ත්ව වාර්තාවේ දැක්වෙන්නේ. ඒ හැර ඊයේ දිනයේ ඉහළ වායු දූෂණ මට්ටමක් පෙන්වා තිබූ සියලු නගරවල වාතයේ ගුණාත්මකභාවය යහපත් තත්ත්වයට පත්ව තිබෙනවා. 

මෙවැනි අවදානම් තත්ත්වයකදී දරුවන් මෙන්ම අවදානම් කාණ්ඩයේ පිරිස් කටයුතු කළ යුත්තේ කෙසේද? මේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය රුවන් ජයසූරිය.

වායු දූෂණය වන අවස්ථාවලදී මුව ආවරණ පැළඳීමෙන් ආරක්ෂාවක් සැලසේ ද? 

මේ අතර ඊයේ රාත්‍රියේ මෙන්ම අද අලුයම ද අධික ශීත කාලගුණයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වුණා. මෙම තත්ත්වයට ද ඉන්දියාවේ වායු දූෂණයේ බලපෑම් එල්ල වී ඇත්දැයි නෙත් නිවුස් සොයා බැලීමක් සිදුකළා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්‍ෂ ශිරෝමනී ජයවර්ධන පැවසුවේ මැන්ඩවූස් සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ ඇති සීත කාලගුණය මෙරටට ගලා එන බවයි. 

එමෙන්ම වායුව දූෂණය වීම හේතුවෙන් දූවිලි අංශු බහුලව වාතයේ තිබීම ද මෙම ශීත කාලගුණයට හේතුවක් වූ බවයි ඇය පැවසුවේ. 

පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් අද දිනයේ සියලු පාසැල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණා. පාසැල් වෙත නිවාඩු ලබාදීමට බලපෑ හේතු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ද පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ කළා. 

ඉන්දියාවේ දිල්ලි නුවර අයහපත් වායු දූෂණයේ බලපෑම ශ්‍රී ලංකාවට එල්ල වූයේ පෙරේදා දිනයේ සිටයි.