Friday, May 17, 2024

General line - 0115112241

ආපදාවට පත් ධීවරයින් පිරිසක් මුදාගැනීම සඳහා නාවික හමුදාවෙන් මෙහෙයුම්




අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සංගමන්කන්දතුඩුවේ සිට නාවික සැතපුම් 46ක් පමණ  දුරින්, ගිණිකොන දෙසින් වූ ගැඹුරු මුහුදේ දී ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිරවී සිටි ධීවරයෙකු නිරුපද්‍රිතව මුදා ගැනීමට නාවික හමුදාව සමත්වී තිබෙනවා.

ඒ, ඔවුන් සිදුකළ විශේෂ සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමකදීයි. ත්‍රීකුණාමලය, ධීවර වරායෙන් ඉකුත් 26 වනදා පිටත්ව ගිය ධීවරයින් 05 දෙනෙකු රැගත් බහු දින ධීවර යාත්‍රාවක් පෙරළි එහි සිටි ධීවරයින් ද සමග අනතුරට පත්ව තිබූ බවයි නාවික හමුදාව පැවසුවේ.

ගිණිකොන මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ නියුතු ශ්‍රී ලංකා නාවික නෞකා රණරිසි නෞකාව මගින් අනතුරට පත් ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 03 දෙනෙකු මුදා ගෙන තිබෙනවා.

අනතුර හේතුවෙන් අතුරුදන්ව සිටි ධීවරයින් දෙදෙනෙකු සෙවීම සඳහා විශේෂ කිමිදුම් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර අනතුරට පත් යාත්‍රාවේ එන්ජින් කාමරයේ සිරවී සිටි එක් ධීවරයෙක් මහත් පරිශ්‍රමයක් යොදා නිරුපද්‍රිතව මුදා ගෙන එම ධීවරයා ප්‍රතිකාර සඳහා මේ වන විට ගොඩබිමට රැගෙන එමින් සිටින බවයි නාවික හමුදාව පැවසුවේ. 

අතුරුදන්ව සිටින අනෙක් ධීවරයා සොයා එම මුහුදු ප්‍රදේශයේ තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව ද නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළා.