Friday, May 17, 2024

General line - 0115112241

රට ගොඩනැගීමට තාරුණ්‍යයේ සහභාගීත්වය ඉතා වැදගත් - ජනපති කියයි




පවතින ගැටළුවලට විසඳුම් සොයමින් රට යළි ගොඩ නැගීමේදී තාරුණ්‍යයේ සහභාගීත්වය ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

දිස්ත්‍රික් 306 සී 2, ලියෝ සමාජය සඳහා සාමාජිකයින් 6,500 ක් බඳවා ගැනීම සහ ලියෝ දිනය වෙනුවෙන් අද කොළඹ රාජකීය විද්‍යාලයේ පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. 

මේ අතර රට ආර්ථික හා දේශපාලන වශයෙන් ඉතා ගැටළුකාරි තත්ත්වයකට පත්ව ඇති අවස්ථාවකදී වුවද, තමන් රට භාර ගැනීමට ඉදිරිපත් වූයේ තරුණ තරුණියන්ට යහපත් අනාගතයක් ගොඩනැගීම සඳහා බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ.

එමෙන්ම වර්තමානයේ තීරණ ගත යුත්තේ අද ගැන සිතා නොව තවත් වසර 25 ක් ඉදිරියට සිතමින් බවයි ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ.

ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් කරා යන ගමනට තරුණ තරුණියන් දායක කර ගැනීමේ වැඩපිළිවෙළ මේවනවිටත් රජය ආරම්භ කර ඇති බව ද  ජනාධිපතිවරයා සඳහන් කළා. ඒ අනුව පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටුවලට තරුණ නියෝජිතයින් පත් කිරීමට ද තමන් යෝජනා කර ඇති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසුවේ. එමෙන්ම 2023 වසරට යෙදෙන මෙරට 75 වන නිදහස් දින සැමරුමට සමගාමීව “ජාතික තරුණ වේදිකාවක්” නිර්මාණය කර තිබෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

සිංගප්පූරුව, ජපානය, චීනය සහ කලාපයේ අනෙකුත් සංවර්ධිත රටවල ආර්ථිකය මෙන් දියුණු ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව යන ගමනට අත්වැළක් වන අයුරින් එම තරුණ වේදිකාව පැවැත්විය යුතු බවත්, ඊට සහභාගී වන ලෙස තරුණ තරුණියන්ට ආරාධනා කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.