Friday, May 17, 2024

General line - 0115112241

පේරාදෙණිය සරසවියේ හිටපු උප කුලපතිට පහරදුන් සිසුන් සොයා විමර්ශන




පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකුට සිසුන් විසින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය විසින් මේවනවිට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ පේරාදෙණිය විශ්ව විද්‍යාල භූමියේ පිහිටි හිටපු උප කුලපති මහාචාර්ය අතුල සේනාරත්නගේ නිල නිවස සිසුන් පිරිසක් වටලා උද්ඝෝෂණයක් සිදුකරන බවට පොලීසියට තොරතුරක් ලැබී තිබෙනවා. ඒ අනුව එම ස්ථානයට පොලිස් කණ්ඩායමක් පැමිණ ඇති අතර උද්ඝෝෂණයේ යෙදෙමින් කලහකාරී ලෙස හැසිරෙමින් සිටි සිසුන් 300 ක පමණ පිරිසකට කරුණු අවබෝධ කර ඔවුන්ව විසුරුවා හැර තිබෙනවා. 

අනතුරුව සොයා බැලීමකදී අනාවරණ වී ඇත්තේ හිටපු උප කුලපතිවරයාගේ පුත්‍රයා විසින් පදවන ලද මෝටර් රථයක් විශ්ව විද්‍යාල සිසුන්ට අයත් යතුරු පැදි 02 ක ගැටීමක් සිදුව ඇති බව පවසමින් මෙම පිරිස නිල නිවස වටලා කලහකාරී ලෙස හැසිරී ඇති බවයි. එහිදී සිසුන් සිදුකළ පහරදීම හේතුවෙන් හිටපු උප කුලපතිවරයාගේ පුත්‍රයා තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එමෙන්ම හිටපු උප කුලපති මහාචාර්ය අතුල සේනාරත්න ද සිසුන්ගේ පහරදීම හේතුවෙන් පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් මේවනවිට මෝටර් රථය සහ යතුරු පැදි 02 පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.