Friday, May 17, 2024

General line - 0115112241

ඩයනා ගමගේ ගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම විභාගයට දින දෙයි




ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම ජනවාරි මස 26 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද දින නියම කළා.
 
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොලගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.

මෙම පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කාර ඔෂල හේරත් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් සහ එහි වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසීම් අධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබුවා.

එහිදී නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙය හදිසි නඩු කටයුත්තක් ලෙස සලකා කඩිනමින් විභාග කිරීම සඳහා දිනයක් නියම කරන ලෙසයි.

එම ඉල්ලීම සලකා බැලූ අභියාචනාධිකරණය මෙම නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ජනවාරි මස 13 වනදාට පෙර ගොනුකරන ලෙස ඩයනා ගමගේ ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කළා.

ඒ අනුව මෙම පෙත්සම ජනවාරි මස 26 වන දා විභාගයට ගන්නා බවයි විනිසුරු මඩුල්ල එහිදී නියෝග කළේ.

පෙත්සම් මගින් පෙන්වා දෙන්නේ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසු කමක් නොමැති බවයි.
 
එබැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසු කමක් නොමැති බවට තීන්දු කොට ඇයගේ මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.