Friday, May 17, 2024

General line - 0115112241

නගර කිහිපයක වායු ගුණාත්මක භාවය අදත් අයහපත් මට්ටමක




අද දිනය තුළ ද මෙරට වායු දූෂණ තත්ත්වය මධ්‍යම මට්ටමක් තුළ පවතිනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය පවසනවා.

එම සංවිධානය අද උදැසන 08 ට නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ අමෙරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව මෙරට ප්‍රධාන නගර ගණනාවක වායු ගුණ තත්ත්වය 100 ත් 150 ත් අතර අගයක පැවති බවයි.

කෑගල්ල නගරයේ එම අගය ඒකක 151 ක් දක්වා ඉහළ ගොස් තිබු අතර බදුල්ල නගරයේ වායු ගුණ තත්ත්වය ඒකක 140ක් ලෙස එම වාර්තාවේ සටහන්ව තිබුණා.

හම්බන්තොට නගරය ආශ්‍රිත වායු ගුණ තත්ත්වයද ඒකක 106 ක් දක්වා වැඩි වී ඇති බවයි එම වාර්තවේ වැඩිදුරටත් දැක්වුණේ.

බදුල්ල හා හම්බන්තොට ප්‍රදේශවල වායු ගුණ තත්ත්වය එවැනි වැඩි අගයක් පෙන්වීමට අදාළ ප්‍රදේශයන්ට පමණක් බලපාන තාවකාලික හේතූන් බලපෑ හැකි බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය පැවසුවේ.

එම තත්ත්වය සෞඛ්‍යමය වශයෙන් අහිතකර තත්ත්වයක් නොවන අතර වායු ගුණය කෙරෙහි සංවේදී පුද්ගලයින්ට පමණක් යම් අපහසුතා ඇති විය හැකි බවද එම වාර්තවේ වැඩිදුරටත් දැක්වෙනවා.


අද පෙරවරු 11 යි 30 පමණ වනවිට අමෙරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකය අනුව මෙරට වාතයේ ගුණාත්මක භාවය සටහන්ව තිබුණේ මහනුවර 156 ක්, ගම්පහ 137 ක්, යාපනය 134 ක් සහ කොළඹ 109 ක් ලෙසයි.


මේ අතර අද උදෑසන ප්‍රචාරය වූ නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණේ ඉන්දියාවේ ක්‍රියාකාරකම් හමුවේ මෙරට වායුගෝලයට ඇති වන බලපෑම් සම්බන්ධවයි. 


එවැනි තත්ත්වයන් සම්බන්ධයෙන් ඉන්දියාවෙන් වන්දි අය කර ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළයුතු බව පරිසරවේදී නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන එම වැඩසටහනට එක්වෙමින් කියාසිටියා.


මෙම තත්ත්වය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ඉන්දිය බලධාරීන් වෙත ලබාදීමට බලාපොරොත්තු වන බවයි මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර දූෂණ පාලන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සංජය රත්නායක මෙම වැඩසටහනට එක්වෙමින් කියාසිටියේ.


අද උදෑසන ප්‍රචාරය වූ නෙත් එෆ් එම් බැලුම්ගල මෙම සම්පූර්ණ වැඩසටහන බැලුම්ගල යූ ටියුබ් නාලිකාවට පිවිස ශ්‍රවණය කළ හැකියි.