Friday, May 17, 2024

General line - 0115112241

පුංචි ඡන්දය වෙනුවෙන් විපක්ෂය එක්වෙයි




පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද රිට් පෙත්සම් දෙකක් ඉදිරිපත් කළා. එම එක් පෙත්සමක් ඉදිරිපත් කළේ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ මහාචාර්ය ජී.එල්. පීරිස් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර,  ලක්ෂ්මන් කිරිඇල්ල, එම් ඒ සුමන්දිරන්, අනුර ප්‍රියදර්ශන යාපා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් අනෙක් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා ඇතුළු එහි සාමාජිකයින් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතායි. 

පෙත්සම්කරුවන් පවසන්නේ පළාත් පාලන ආයතන 340 ක පමණ නිල කාලය ලබන වසරේ මාර්තු මස 19 වන දා අවසන්වීමට නියමිතව තිබෙන බවයි. ඒ අතර මහ නගර සභා 24 ක් ද නගර සභා 41 ක් සහ ප්‍රාදේශීය සභා 275 ක් තිබෙන බවද එම පෙත්සම්වල සඳහන්. එහෙත් අදාළ පළාත් පාලන ආයතන සඳහා පළාත් පාලන ඡන්ද විමසීම් පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව ඡන්ද විමසීම් පැවැත්වීමට මැතිවරණ  කොමිසම  මෙතෙක් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොමැති බවයි පෙත්සම්කාර පාර්ශව පෙන්වා දෙන්නේ.

ජනමාධ්‍ය මගින් නිකුත් වන වාර්තා පිරික්සීමේදී අදාළ ඡන්ද විමසීම කල් දැමීමට මැතිවරණ බලධාරීන් මාන බලමින් සිටින බවක් පෙනී යන බවද එම පෙත්සම් වල දැක්වෙනවා.

පළාත් පාලන මැතිවරණ පනතේ ප්‍රතිපාදනවලට අනුව යම් පළාත් පාලන ආයතනයක නව නිල කාලය ආරම්භ වීමට මාස හයකට පෙර ඊට අදාළ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ බලධාරීන් විසින් අවශ්‍ය කටයුතු ආරම්භ කළ යුතු බව දක්වා ඇතැයිද අදාළ පෙත්සම් මඟින් පෙන්වා දී තිබෙනවා. 

එහෙත් වග උත්තරකාර මැතිවරණ කොමිසමේ බලධාරීන් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය පියවර අනුගමනය නොකිරීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය උල්ලංඝනය වීමක් සිදු වන බවයි පෙත්සම් මඟින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව ලබන  වසරේ මාර්තු මස 20 වනදායින් ඇරඹෙන පළාත් පාලන ආයතන සඳහා වූ නව නිල කාලය උදෙසා වන ඡන්ද විමසීම පැවැත්වීමේ අභිලාෂය ප්‍රකාශයට පත්කරන ප්‍රකාශනයක් නිකුත් කරන ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.

ඊට අමතරව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස ද අදාළ පෙත්සම් වලින් තවදුරටත් ඉල්ලා තිබෙනවා.