Friday, May 17, 2024

General line - 0115112241

වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්




ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ජනවාරි මස 17 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්තගේ නියෝගයකට අනුවයි.

මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය  ත්‍රස්ත මර්දන කාර්යාංශයට එහිදී නියෝග කළේ. සැකකාර වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් වන සාක්ෂිවල සම්පිණ්ඩන වාර්තාවක් මීළඟ දින අධිකරණය හමුවේ ගොනු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය එම කාර්යාංශයට එහිදී නියෝග කළා. 

සැකකරුට අවශ්‍ය නම් ඇප ඉල්ලා මහාධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙන බව පෙන්වාදුන් මහෙස්ත්‍රාත්වරිය මෙම සැකකරු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නීතිපතිවරයාට හැකියාව තිබෙන බවයි එහිදී කියා සිටියේ.

මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකාර වසන්ත මුදලිගේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. එහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් කියා සිටියේ මෙම සැකකරු ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා අනුමැතිය පළ කිරීමක් සිදුනොකරන බවයි.

සැකකාර වසන්ත මුදලිගේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ද අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළා.