Sunday, May 12, 2024

General line - 0115112241

ව්‍යාජ වාහන අංක තහඩු නිෂ්පාදනය කරන ස්ථානයක් වටලයි

බිමල් ශ්‍යාමන්




මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන ලියාපදිංචි අංක තහඩුවට සමාන අයුරින් ව්‍යාජ වාහන අංක තහඩු නිෂ්පාදනය කරන බණ්ඩාරගම රයිගම ප්‍රදේශයේ ස්ථානයක් වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරගම පොලීසිය සමත් වී තිබෙනවා.

එම ස්ථානයේ තිබී ව්‍යාජ වාහන අංක තහඩු කිහිපයක් සහ ඒවා නිෂ්පාදනයට යොදා ගන්නා  උපකරණ රැසක් සිය භාරයට ගත් බවයි බණ්ඩාරගම පොලීසිය පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි හොරණ, මිල්ලනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. බණ්ඩාරගම පොලිසියට අනුයුක්ත බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් අනුව එම වැටලීම සිදුකර  තිබෙනවා.

අදාළ ස්ථානයේ තිබී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව GMT යනුවෙන් ඉංග්‍රීසි අකුරු සඳහන්  ස්ටිකර් කොල, අංක තහඩු සකස් කිරීමට උපයෝගි කර ගන්නා විවිධ ප්‍රමාණවලින් යුත් ප්ලාස්ටික් සහ යකඩ තහඩු, අංක තහඩු සකස් කිරිමට යොදා ගන්නා යන්ත්‍රයක්, ව්‍යාජ ලෙස සකස් කර විවිධ පුද්ගලයන්ට ලබාදුන් අංක තහඩු වල ඡායාරූප ඇතුළත් ජංගම දුරකථනයක් සහ පරිගණක උපාංග එහිදී සියභාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ.

මෙම ස්ථානය පවත්වාගෙන යාමෙන් රජයට ලැබිය යුතු විශාල මුදලක් අහිමි වන අතර, ඇතැම් පුද්ගලයන් ඒවා විවිධ අපරාධ සඳහා යොදා ගැනීමේ හැකියාව පවතින බවද පොලීසිය සඳහන් කළා.