Tuesday, May 14, 2024

General line - 0115112241

යුද්ධයෙන් විනාශ වූ සිරියාවට ඉන්දියාවේ සහය




දශකයකට ආසන්න කාලයක් පැවැති දරුණු යුද ගැටුම් හේතුවෙන් විනාශ වුනු සිරියාවට අමෙරිකානු ඩොලර් මිලියන 280 ක ණය පහසුකම් ලබා දීමට ඉන්දියාව සූදානම් වන බව වාර්තා වෙයි.

ඒ සිරියාව තුළ විදුලි බලාගායක් හා වානේ කර්මාන්තශාලාවක් ඉදිකිරීම් සදයායි.

 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය නිත්‍ය නියෝජිත රුචිරා කාම්බෝජ් ඒ බව තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය නියෝජිතවරිය සිරියාවට ලබා දෙන එම ණය පහසුකම සම්බන්ධයෙන් අනාවරණ කළේ සිරියාවේ දේශපාලන හා මානුෂීය තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් කැදවා තිබූ විශේෂ සාකච්ඡා වටයකදීයි.

2021 වසරේදී ඉන්දියාව විසින් සිරියාවේ ඩැමස්කස් අගනුවර තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කළ බව ද ඇය එහිදී සදහන් කර තිබේ.

ඊට අමතරව විවිධ විෂය ධාරාවන් යටතේ ඉන්දියාව තුළ අධ්‍යාපනය හැදෑරීම සදහා සිරියානු සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව 1500 ක් ඉන්දීය රජය විසින් පිරිනමා ඇති බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය නිත්‍ය නියෝජිත රුචිරා කාම්බෝජ්  ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ද්විපාර්ශවික හා බහුපාර්ශ්වික සබඳතා හරහා ඉන්දියාව තවදුරටත් සිරියාව වෙත මානුෂීය, තාක්ෂණික හා සංවර්ධන සහයෝගිතාව ලබා දෙන බව ද නිත්‍ය නියෝජිතවරිය එහිදී ජගත් ආරක්ෂක කවුන්සිලය හමුවේ සදහන් කර තිබේ.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සහ අවස්ථා ගණනාවකදී ඉන්දියාව, සිරියාව වෙත ආහාර සහ ඖෂධ තොග සැපයූ බව ද ඇය සිහිපත් කර ඇත.

සිරියානු යුද්ධය තවමත් අවසන් වී නොමැති බැවින් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් වහා විසදුමක් එන ඒම සියලු පාර්ශවවල වගකීමක් බව ඇය එහිදී අවධාරණය කර ඇත.