Friday, May 17, 2024

General line - 0115112241

ආපදාවලින් දිස්ත්‍රික් 03 ක පවුල් 346 කට බලපෑම්




පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 03 කට අයත් පවුල් 346 ක පුද්ගලයින් 1511 දෙනෙකුට බලපෑම් එල්ල වී තිබෙනවා.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවට කෝරළය, හාරිස්පත්තුව, පූජාපිටිය, දොළුව, තුම්පනේ, උඩුනුවර, පාතහේවාහැට සහ අකුරණ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පවුල් 289 ක පුද්ගලයින් 1,237 දෙනෙකු බලපෑමට ලක්ව තිබෙනවා. 


මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 53 කට අයත් පුද්ගලයින් 263 දෙනෙකු බලපෑමට ලක්ව ඇති අතර ඔවුන් මාතලේ, උකුවෙල සහ නාවුල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත්. 


මේ අතර අම්පාර දිස්ත්‍රික්කයේ උහන සහ පදියතලාව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ද පවුල් 04 කට අයත් පුද්ගලයින් 11 දෙනෙකුට අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.

ආපදා හේතුවෙන් වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයයි.

එහි පවුල් 231 කට අයත් පුද්ගලයින් 1,016 දෙනෙකු අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති අතර නිවාස 17 කට අර්ධ හානි සිදුව තිබෙනවා. 


මේ අතර පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 34 කට අයත් පුද්ගලයින් 120 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර නිවාස 27 කට අර්ධ හානි සිදුව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේවනවිට පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් 03 දෙනෙකු තුවාල ලබා ඇති අතර නිවාස 66 කට අර්ධ හානි සිදුව තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජනරාල් සුදන්ත රණසිංහ සඳහන් කළේ අකුරණ සහ පොල්ගොල්ල යන ප්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් ඇදහැලී ඇති බවයි.