Friday, May 17, 2024

General line - 0115112241

සුනාමි මතකයට වසර 18 යි - මියගිය පිරිස් සිහි කරමින් අද රටපුරා වැඩසටහන්




ජීවිත 30,000 කට අධික සංඛ්‍යාවක් බිලිගත් සුනාමි ඛේදවාචකයට අදට වසර 18 ක් සපිරෙනවා.

සුනාමියෙන් මියගිය හා තුවාල ලැබූවන් සිහි කරමින් රටපුරා අද දිනයේ ද විවිධ වැඩසටහන් සංවිධාන කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

සුනාමි උදම් රළ පහර  ශ්‍රී ලංකාවේ වෙරළ ආශ්‍රිත ප්‍රදේශවලට කඩා වැදුණේ 2004 වසරේ දෙසැම්බර් මස 26 වනදායි.

මෙම ව්‍යවසනයේදී පුද්ගලයින් 31,229 දෙනෙකු මියගිය අතර තවත් 4093 දෙනෙකු අතුරුදන් වූ බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

තවත් පුද්ගලයින් 21,411 දෙනෙකු ආපදා තත්ත්වය හමුවේ තුවාල ලැබුවා.

සුනාමි ව්‍යවසනය සහ අනෙකුත් ආපදා හේතුවෙන් මිය ගිය ජනතාව සිහිපත් කිරීම සඳහා 2006 වසරේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් 26 වන දින “ජාතික සුරක්‍ෂිතතා” දිනය ලෙස නම් කිරීමට ශ්‍රී ලංකා රජය පසුව තීරණය කළා.

ඒ, 2005 වසරේ නිකුත් කරන ලද අංක 15 ඇල ඉරක් 1975 ඇල ඉරක් 715 අල ඉරක් 001 කෙටි ඉරක් 1 (15/1975/715/001-1) දරණ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුවයි.

 
ඒ අනුව අද පෙරවරු 9 යි 25 සිට 9 යි 27 දක්වා විනාඩි දෙකක කාලයක් ජාතික නිහඬතාවක් ප්‍රකාශ කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.

සුනාමියෙන් මියගිය හා තුවාල ලැබුවන් සිහිකරමින් ඊට එක්වන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සියළු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරනවා. 


සුනාමියෙන් මියගිය හා තුවාල ලැබූවන් සිහි කිරීම සඳහා රටපුරා අද සංවිධාන කර ඇති සෙසු වැඩසටහන් පිළිබඳව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මෙලෙස අදහස් පළ කළා. 


2004 වසරේදී බලපෑ සුනාමි ව්‍යසනයෙන් මියගිය සියලුදෙනා සිහිපත් කරමින් පවත්වන “ජාතික සුරක්‍ෂිතතා” දින ප්‍රධාන වැඩසටහන හික්කඩුව, පැරෑලිය සුනාමි ස්මාරකය අසලදී පැවැත්වීමට නියමිතයි.