Friday, May 17, 2024

General line - 0115112241

මාස තුන හමාරක් තුළ ඉන්ධන ලීටර් කෝටි දෙක හමාරක් ගොවින්ට ලබා දෙයි




මෙවර මහ කන්නයේ වගා කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මාස තුනකදී ඉන්ධන ලීටර් දෙකෝටි හතළිස් හතර ලක්ෂ හැත්තෑ නව දහස් හාරසියයක ප්‍රමාණයක් ගොවීන් වෙත ලබා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

මහ කන්නයේදී වී වගාව සාර්ථක කර ගැනීම සඳහා හිඟයකින් හා අපහසුතාවයකින් තොරව ගොවි ජනතාව වෙත අවශ්‍ය ඩීසල් සහ භූමිතෙල් ලබා දෙන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් උපදෙස් අනුව මෙම ඉන්ධන බෙදාහැරීම සිදුකළ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට දෙසැම්බර් මස 11වනදා දක්වා කාලය තුළ ලීටර් 6,600 බැගින් වූ බවුසර් රථ 3,559කින් ගොවීන් වෙත මෙම ඉන්ධන තොගය බෙදා හැර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ.

සැප්තැම්බර් මාසයේදී ඉන්ධන බවුසර් 866ක්, ඔක්තොබර් මාසයේ දී බවුසර් 1,587ක්, නොවැම්බර් මාසයේ දී බවුසර් 1,004ක් හා දෙසැම්බර් 11 දින වනවිට බවුසර් 102ක් වශයෙන් බවුසර් 3,559ක් මගින් මෙලෙස ඩීසල් සපයා තිබෙනවා.

මේ අතර ගොවීන් සඳහා අවශ්‍ය භූමිතෙල් ලීටර් නවලක්ෂ අනූ දහසක් බෙදා හැර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ. ලීටර් 6,600 බැගින් වූ බවුසර් රථ 151කින් මෙම බෙදා හැරීම සිදුකර තිබෙනවා.


ඔක්තොම්බර් මාසයේදී බවුසර් රථ 16ක් නොවැම්බර් මාසයේදී බවුසර් රථ 111ක් සහ දෙසැම්බර් මාසයේදී බවුසර් රථ 24ක් යොදා ගනිමින් ගොවීන් වෙත මෙලෙස භූමිතෙල් බෙදා හැරීම සිදු කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම ඉන්ධන බෙදා කටයුතු අධීක්ෂණය සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ කෘෂිකර්ම අමාත්‍යංශයේ එක් නිළධාරියෙක් බැගින් යොමු කිරීමටයි කටයුතු කර තිබුණේ.