Friday, May 17, 2024

General line - 0115112241

සුනාමියෙන් මියගිය හා තුවාල ලැබූවන් සිහි කරමින් රටපුරා විවිධ වැඩසටහන් රැසක්




සුනාමියෙන් මියගිය හා තුවාල ලැබූවන් සිහි කරමින් රටපුරා අද දිනයේ ද විවිධ වැඩසටහන් සංවිධාන කර තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඒ අනුව සුනාමි ව්‍යසනයෙන් මියගිය සියලුදෙනා සිහිපත් කරමින් පවත්වන “ජාතික සුරක්‍ෂිතතා” දින ප්‍රධාන වැඩසටහන හික්කඩුව, පැරෑලිය සුනාමි ස්මාරකය අසලදී අද උදෑසන පැවැත්වුණා.

මේ, ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ගෙන එන නෙත් නිවුස් ගාල්ල වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල්.


මේ අතර මාතර දිස්ත්‍රික්කයේ සුනාමි සැමරුම් උත්සවය මාතර වැලිගම පැලෑන ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්ද පැවසුවේ. 


හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවති සුනාමි සැමරුම් උත්සවය හම්බන්තොට ප්‍රධාන බස්නැවතුම්පොළේදී පැවැත්වූ බවයි නෙත් නිවුස් හම්බන්තොට වාර්තාකරු සනත් ගමගේ සඳහන් කළේ. 


ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සුනාමි සැමරුම් උත්සව කිහිපයක් සංවිධානය කර තිබූ බවයි නෙත් නිවුස් ත්‍රිකුණාමල වාර්තාකරු අමදෝරු අමරජීව සඳහන් කළේ. 


සුනාමි උදම් රළ පහර  ශ්‍රී ලංකාවේ වෙරළ ආශ්‍රිත ප්‍රදේශවලට කඩා වැදුණේ 2004 වසරේ දෙසැම්බර් මස 26 වනදායි.

මෙම ව්‍යවසනයේදී පුද්ගලයින් 31,229 දෙනෙකු මියගිය අතර තවත් 4093 දෙනෙකු අතුරුදන් වූ බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

තවත් පුද්ගලයින් 21,411 දෙනෙකු ආපදා තත්ත්වය හමුවේ තුවාල ලැබුවා.

සුනාමි ව්‍යවසනය සහ අනෙකුත් ආපදා හේතුවෙන් මිය ගිය ජනතාව සිහිපත් කිරීම සඳහා 2006 වසරේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් 26 වන දින “ජාතික සුරක්‍ෂිතතා” දිනය ලෙස නම් කිරීමට ශ්‍රී ලංකා රජය පසුව තීරණය කළා.

ඒ, 2005 වසරේ නිකුත් කරන ලද අංක 15 ඇල ඉරක් 1975 ඇල ඉරක් 715 අල ඉරක් 001 කෙටි ඉරක් 1 (15/1975/715/001-1) දරණ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුවයි.