Monday, May 20, 2024

General line - 0115112241

කොන්සියුලර් කාර්යාලයේ අකටයුතුකම් ගැන සිදුකරණ පරීක්ෂණයත් වැරදි පාරේ යයි




විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කාර්යාලයේ සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් නෙත් එෆ් එම් බැලුම්ගල කළ අනාවරණයෙන් පසු විමර්ශනයක් ආරම්භ කෙරුණද එම විමර්ශනය ද  විධිමත්ව සිදු නොවන බව වාර්තා වනවා.

මෙම අනාවරණයේ දී නෙත් එෆ් එම් බැලුම්ගල පෙන්වා දුන්නේ කොන්සියුලර් කාර්යාලයේ ඇතැම් නිලධාරීන් සේවා ඉටුකර දීමට අල්ලස් ලබාගන්නා බවයි. සේවා ලබා ගැනීමට පැමිණෙන පිරිස් අනවශ්‍ය ලෙස පීඩාවට ලක් කෙරෙන බව ද මෙහිදී හෙළි කෙරුණා.

පසුව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ද පැමිණිලි භාර දුන් අතර අදාළ චෝදනා සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කෙරුනේ ද ඒ අනුවයි.

මෙම අභ්‍යන්තර විමර්ශනයේදී නලින් කුමාර සහ ආර් පී කුමාරසිංහ නමැති නිලධාරීන් දෙදෙනෙකු වරදකරුවන් කරමින් චෝදනා ගොනු කර තිබෙනවා. නෙත් එෆ් එම් බැලුම්ගල අනාවරණ කළ අල්ලස් ලබාගැනීමේ සිද්ධීන්වලට හෝ සේවා ලබා ගැනීමට පැමිණෙන පිරිස් පීඩාවට ලක් කෙරෙන අවස්ථා සම්බන්ධයෙන් ඔවුන්ගේ සම්බන්ධයක් නැහැ.

එසේ තිබියදී ඔවුන්ට චෝදනා ගොනු කර ඇත්තේ කරුණු නිසි ලෙස විමර්ශනය කිරීමකින් තොරවයි. වරද කළ නිලධාරීන් තවමත් කිසිදු චෝදනාවක් නොමැතිව නිදැල්ලේ සිටිනවා. 

නෙත් එෆ් එම් බැලුම්ගල මුලින් කළ අනාවරණය පිළිබඳ අවධානය යොමු වූවා සේම මෙම අවිධිමත් විමර්ශනය පිළිබඳව ද වගකිව යුත්තන්ගේ අවධානය යොමු විය යුතුයි. එසේ නොමැති වුවහොත් සිදුවන්නේ වරද තවදුරටත් එසේම සිදුවද්දී නිවැරදිකරුවන් වරදකරුවන් වී අසාධාරණයට ලක් වීමයි.