Monday, May 20, 2024

General line - 0115112241

වියට්නාමයේ රඳවා සිටි ශ්‍රී ලාංකිකයන් 152ක් දිවයිනට

ටී‘.කේ.ජී.කපිල




වියට්නාමයෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන් 152 දෙනෙකු අද මෙරටට රැගෙන විත් තිබෙනවා. සරණාගත කදවුරක රදවා සිටි එම පිරිස විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මීට මාස කිහිපයකට පෙර 400 කට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසක් නීතිවිරෝධී ලෙස මුහුදුු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාව බලා ගමන්කරමින් සිටියදී ඔවුන් ගමන් ගත් යාත්‍රාව වියට්නාමය ආසන්න මුහුදු සීමාවේදී අනතුරකට පත්වුණා.

එහිදී වියට්නාම වෙරළාරක්ෂක භටයින් විසින් මෙම යාත්‍රාවේ සිටි පිරිස බේරා ගෙන එරට හැනෝයි නගරය ආසන්න කදවුරක රදවා තැබීමට පියවර ගෙන තිබුණා.

ඉන් අනතුරුව ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් වියට්නාමය වෙත ගොස් විමර්ශන ආරම්භ කළ අතර  එහිදී යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට එකග වූ ශ්‍රී ලාංකිකයන් 152දෙනා මෙලෙස  දිවයිනට රැගෙන විත් තිබෙනවා.

එම පිරිස අතරට කාන්තාවන් 09 දෙනෙකුද අයත්. එම ශ්‍රී ලාංකිකයින් 152 දෙනා දිවයිනට පැමිණිමෙන් පසු, තැනැත්තන් වෙළෙඳාම සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

එම නිළධාරීන් විසින් අදාල පිරිස කටුනායක ගුවන් තොටුපළ තුළ රදවා ගෙන ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු වැඩිදුරටත් පැවසූව්.