Sunday, May 12, 2024

General line - 0115112241

චීන සංචාරකයින්ට රටවල් රැසකින් සීමා




වසර 02 කට පසුව චීනය විදෙස් රටවලින් පැමිණෙන පුද්ගලයින් සදහා සිය දේශ සීමා විවෘත කළ ද ඒ හරහා චීන වැසියන් තවත් ගැටලුවකට මුහුණ පා සිටිනවා. ඒ, චීනය තුළ පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ රටවල් කිහිපයක් චීනයෙන් පැමිණෙන සංචාරකයින් සදහා සීමා පැනවීම හේතුවෙන්.

ඒ අනුව ජපානය, ඉන්දියාව සහ මැලේසියාව මේවනවිටත් චීනයෙන් පැමිණෙන සංචාරකයින් සදහා සීමා පනවා තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ අමෙරිකාව ද චීනයෙන් පැමිණෙන සංචාරකයින් සදහා එලෙස නව සීමා පැනවීම සම්බන්ධයෙන් අවදානය යොමු කර ඇති බවයි.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් චීනය නිකුත් කරන දත්තවල විනිවිදභාවය සම්බන්ධයෙන් ගැටලු පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එබැවින් චීනයෙන් පැමිණෙන සංචාරකයින් රටට ඇතුළු කර ගැනීමේදී ඒ සම්බන්ධයෙන් දැඩි අවදානයක් යොමුකළ යුතු බවයි අමෙරිකාව පවසන්නේ.

එමෙන්ම ලොව  රටවල් රැසක් චීන සංචාරකයින්ගේ පැමිණීම හා ඔවුන්ට සීමා පනවන්නේ ද යන්න සම්බන්ධයෙන් සමාලෝචනය කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේවෙතත් චීන රජය දේශසීමා විවෘත කිරීමත් සමග චීන වැසියන් රැසක් විදෙස් සංචාර සැලසුම් කර ඇතැයිද සඳහන්. ඒ, රට තුළ දැඩි ලෙස කොරෝනා වෛරසය ව්‍යාප්ත වී රෝහල්, මෘත ශරීරාගාර සහ ආදාහනාගාර ධාරිතාව ඉක්මවා ගොස් ඇති පසුබිමක් තුළයි.