Sunday, May 12, 2024

General line - 0115112241

ලෝකයම අනතුරේ හෙලන රුසියාවේ අලුත්ම පර්යේෂණය 




මීට වසර දහස් ගණනකට ඉහතදී මියගිය ක්ෂීරපායින් ගේ සිරුරූ නැවත ගොඩගැනීමට ඇතැම් පර්යේෂකයින් මේවන විට කටයුතු කරමින් සිටීම හේතුවෙන් ඉදිරියේදී මානව සංහතියට ඉන් ප්‍රබල තර්ජනයක් එල්ල වනු ඇති බව විද්‍යාඥයින් අනතුරු අඟවා සිටිනවා.

මීට වසර 10,000කට පමණ ඉහතදී ලොවෙන් තුරන් වූ ක්ෂීරපායි සත්වයින්ගේ සිරුරූ තුළ ඇති බවට සැලකෙන භයානක වෛරස් ප්‍රභේද සොයා රුසියානු පර්යේෂකයින් මේ වන විට පර්යේෂණ අරඹා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

ඊසානදීග සයිබීරියාවේ සහ ආක්ටික් ධ්‍රැවයේ අයිස් තට්ටු යට මිහිදන්වී ඇති රයිනෝසිරස්, මැමත් වැනි ක්ෂීරපායි සතුන්ගේ සිරුරූ තුළ ප්‍රාග් ඓතිහාසික යුගයේ පැවති  ඉතා භයානක වෛරස් වර්ග පවතින බවයි සැළකෙන්නේ.

කොවිඩ් -19 වෛරසය ඇති කළ වෛරස් කාණ්ඩය මෙන් මෙම ප්‍රාග් ඓතිහාසික වෛරසයන් හේතුවෙන් මානව සංහතියට ඉන් ඇතිවිය හැකි ව්‍යවසනය කෙතෙක් දැයි අනුමාන කළ නොහැකි බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

විශේෂයෙන්ම මෙම ප්‍රාග් ඓතිහාසික වෛරස් සඳහා මුහුණ දීමට මිනිස් සිරුරේ සොභාවික හෝ ප්‍රතිශක්තිකරණ හැකියාවක් නොමැති බවද එම විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

රුසියාවේ වෛරස් විද්‍යාව සහ ජෛව තාක්ෂණය පිළිබඳ රාජ්‍ය පර්යේෂණ මධ්‍යස්ථානය විසින් ආරම්භ කර ඇති නවතම ව්‍යාපෘතියක් හරහා මෙම මියගිය සත්වයින්ගේ සිරුරූ තුළ ඇති වෛරස් සොයා රසායානාගාර පර්යේෂණ පවා ආරම්භ කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියි.

වර්ෂ 1979 දී මෙලෙස රුසියානු පර්යේෂකයින් පිරිසක් විසින් සිදුකළ රසායනාගාර පරීක්ෂණයක් අතරවාරයේ දී මාරාන්තික Anthrax බැක්ටිරීයාව ව්‍යාප්ත වීමෙන් පුද්ගලයින් 68 දෙනෙකු මියගිය අතර එය පිළිගැනීමට එවකට බලයේ සිටි සෝවියට් සමුහාණ්ඩුව කටයුතු නොකරන ලදී.

රුසියාවේ වෛරස් විද්‍යාව සහ ජෛව තාක්ෂණය පිළිබඳ රාජ්‍ය පර්යේෂණ මධ්‍යස්ථානය Vector නමින් හඳුන්වනු ලබන අතර ඔවුන් සතුව ලොවපුරා අධි ආරක්‍ෂිත පර්යේෂණාගාර 59ක් පවතින බව සඳහන්.

Vector පර්යේෂණාගාර තුල පසුගියා කාලයේ සිදුවූ විවිධ අත්වැරදීම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවන අතර 2004 වර්ෂයේදී ඉබෝලා වෛරසය රැඳී එන්නත් කටුවක් අහම්බෙන් ඇනීමෙන් එහි සේවය කළ පර්යේෂකයෙකු මියයෑමේ සිදුවීමක් ද ඒ අතර වන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

රුසියානු විද්‍යාඥයින් දිගු කලක් අක්‍රියව පවතින ක්ෂීරපායීන්ට ආසාදනය වූ වෛරස් සෙවීමේ අදහස සම්බන්ධයෙන් ප්‍රංශයේ Aix-Marseille විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන Jean-Michel Claveri විසින් අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

ඔහු සඳහන් කර සිටින්නේ වසර දහස් ගණන් අතීතයට උරුමකම් කියන මෙවැනි වෛරස් වර්ග මිනිසාගේ ප්‍රතිශක්තිකරණයට කිසිදා හමුවී නොමැති වීම නිසා ඉන් ඇතිවිය හැකි ප්‍රථිපලය ඉතා භයානක විය හැකි බවයි.

රුසියානු පර්යේෂණ කටයුතු සිදුකරනු ලබන Vector පර්යේෂණාගාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්ය Jean-Michel Claveri සඳහන් කලේ ආක්ටික් ධ්‍රැවයේ පවතින වෛරස් පිටවීමක් තුලින් ඇතිවිය හැකි තත්ත්වය ඉතා භයානක විය හැකි බවයි.

මේ අතර මහාචාර්ය Claveri ඇතුළු පිරිසක් විසින් පසුගිය මාසයේදී  සයිබීරියානු 'zombie' වෛරසය සොයා ගනු ලැබුවා. ඒ වසර 50,000 කට ආසන්න කාලයක් වැව් පතුලක් යට මිදෙමින් තිබු අයිස් තට්ටුවක් මත තිබියදීය.

ගෝලීය උෂ්ත්වය ඉහළ යාම නිසා ආක්ටික් ධ්‍රැවයේ අයිස් තට්ටු දියවී යෑම සීඝ්‍රවී ඇති පසුබිමක ඉදිරියේදී මානව සංහතියට මුහුණ පෑමට සිදුවිය හැකි අවධානම අතිමහත් බව ද විද්‍යා උපදේශක කවුන්සිලය විසින් කැඳවූ වැඩමුළුවකදී මීට පෙර අනතුරු අඟවා සිටියා.

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය සමග නව වෛරස් කාණ්ඩ මගින් මානව සංහතියට එල්ල විය හැකි තර්ජනයන් ගැන කල්තියා උපකල්පනය කොට ඒ සඳහා පෙර සුදානමක් ලෙස ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවීමට සියලු දෙනා එක්විය යුතු බවයි එහිදී රැස්වූ විද්‍යාඥයින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.