Monday, May 20, 2024

General line - 0115112241

ව්‍යාජ තොරතුරු දී රට යන අයට වැඩ වරදී




පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පරිශිලනය කිරීම සඳහා අවසර ලබා දී තිබෙනවා. ඒ, විදේශ රැකියා සඳහා යන පුද්ගලයින් නම, වයස, පදිංචිය ආදි තොරතුරු වෙනස් කර හැදුනුම්පත් සහ ගමන් බලපත්‍ර ව්‍යාජ ලෙස සකස් විදේශ ගතවීම වැලැක්වීම සඳහායි.

විදේශ ගතවන පුද්ගලයන් විවිධ හේතු පදනම් කරගෙන සිය සත්‍ය තොරතුරු වෙනස් කර ව්‍යාජ උප්පැන්න සහතික, හැදුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර සකස් කර විදේශ ගතවිමේ අවස්ථා දක්නට ලැබෙන බවයි විදේශසේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙන්නේ. එලෙස විදේශ ගතවු පුද්ගලයන් ගැටළුවලට මුහුණ දුන් අවස්ථාද වර්තා වනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සැක සහිත හැඳුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර ක්ෂණිකව පරීක්ෂා කිරීමට ක්‍රමවේයක් මෙතෙක් ක්‍රියාත්මක වූයේ නැහැ. ඒ අනුව පරිගණක පද්ධතිය පරිශීලනය කිරීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් කර තිබෙනවා. 

පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පරිශිලනය කිරීමට අවස්ථාව ලැබීමෙන් සැකසහිත පුද්ගලයින්ගේ තොරතුරු ක්ෂණිකව පරික්ෂා කිරීමට හැකියාව පවතිනවා.