Monday, May 20, 2024

General line - 0115112241

රටේ ඩොලර් බලාපොරොත්තුව, සංචාරක කර්මාන්තය ලබන වසරේ අර්බුදයක




ලබන වසරේ මෙරට සංචාරක කර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණපෑමේ අවදානමක් පවතින බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියාසිටියේ මේ මස 31 වනදායින් පසු සංචාරක ක්‍ෂේත්‍රයේ නිරත පුද්ගලයින් සදහා ලබාදුන් ණය සහන කාලය අවසන්වීම ඊට හේතුව බවයි. 

විදෙස් සංචාරකයින් ප්‍රවාහනය සදහා ක්‍ෂේත්‍රයට සම්බන්ධ සමාගම් සතුව පවතින්නේ සියයට 5 ක පමණ වාහන ප්‍රමාණයක්. සියයට 95ක්ම සංචාරකයින්ගේ ප්‍රවාහන පහසුකම් සපයනු ලබන්නේ සංචාරකයින් ප්‍රවාහනය කෙරෙන වාහන සතු පුද්ගලයින් විසින්. 

ඔවුන් මේ වනවිට මූල්‍ය සමාගම් සදහා ගෙවිය යුතු මුදල මිලියන 700 ක්. ලබන වසරේ ජනවාරි සිට ලීසිං වාරික පියවා ගැනීමේ ආර්ථික තත්ත්වයක් නොමැති බවට එම වාහන හිමියන් සදහන් කර ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළේ. 

ඒ අනුව වාහන හිමියන් වෙත ලබාදුන් ණය සහන කාලය තවත් වසරක් දීර්ඝ කරන ලෙසද ඔවුන් ඉල්ලීමක් කර තිබෙනවා. එහෙත් එම මූල්‍ය සමාගම් ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

මේ අතර සංචාරක හෝටල් හිමියන් සදහා ලබාදුන් ණය සහන කාලය ද මෙම මස 31 වනදායින් අවසන් වනවා. ඒ අනුව මේ වනවිට ඔවුන් ගෙවිය යුතු මුදල රුපියල් මිලියන 500 ක් පමණ වන බවයි නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණේ.

මෙම වසරේ දෙසැම්බර් 26 දින දක්වා මෙරටට පැමිණි ඇති සංචාරකයින් සංඛ්‍යාව හත් ලක්‍ෂ 1,331 ක්. ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ පසුගිය මාර්තු මාසයේදීයි.

එම ප්‍රමාණය එක් ලක්‍ෂ 6,500 ක්. වැඩිම සංචාරකයින් පිරිස වන එක් ලක්‍ෂ 19,546 ක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවේ සිටයි. මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ ලැයිස්තුවේ 2 වන ස්ථානයේ පසුවන්නේ රුසියානුවන්. එම ප්‍රමාණය 86,990 ක්. 

කෙසේවෙතත් දෙසැම්බර් මාසයේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති වැඩිම සංචාරකයින් පිරිස වන 15,681 ක් පැමිණ ඇත්තේ රුසියාවේ සිටයි.