Monday, May 20, 2024

General line - 0115112241

ශිෂ්‍යත්ව උත්තරපත්‍ර පරීක්ෂාව අද සිට - ප්‍රතිඵල ජනවාරියේ




පසුගියදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උත්තර පත්‍ර පරීක්ෂාව අද සිට ආරම්භ වනවා. විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි උත්තරපත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු අද සිට සිදු කරන බවයි. 

ලකුණු ලබාදීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් ප්‍රධාන පරීක්ෂකවරුන් දැනුවත් කිරීමේ තෙදින වැඩසටහනක් ඉකුත්දා පැවැත්වුණා. පසුගිය දෙසැම්බර් 18වනදා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණේ විභාග මධ්‍යස්ථාන 2894කදීයි. ඊට සිසුන් තුන් ලක්ෂ 34,698ක් පෙනී සිටියා.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන ජනවාරි මාසය තුළ නිකුත් කිරීමටයි විභාග දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන්නේ. 

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ජනවාරි 23වනදා සිට පෙබරවාරි 17වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා අවශ්‍ය පූර්ව සංවිධාන කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. විභාග කාර්යය මණ්ඩල දැනුවත් කිරීමේ කටයුතු ජනවාරි 9වනදා සිට 15වනදා දක්වා සිදු කිරීමටයි විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ.