Wednesday, May 22, 2024

General line - 0115112241

ලොව පළමු වරට මී මැස්සන්ටත් එන්නතක්




මී මැස්සන් ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනය කළ ලොව පළමු එන්නත භාවිත කිරීමට අමෙරිකාව නිල වශයෙන් අවසර ලබා දී තිබෙනවා. ඒ, දිගින් දිගටම සිදුවන මී මැස්සන්ගේ ගහනය අඩු වීම පාලනය කිරීම සඳහායි. මී මැසි වර්ගයා වඳවී යාම අඩු කිරීම සඳහා ලොව නිපදවූ පළමු එන්නත මෙය වනවා.

අමෙරිකාව තුළ පැතිර යන බැක්ටීරියාවක් හේතුවෙන් එරට මී මැසි ගහණයට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා. 2006 වසරේ සිට අඛණ්ඩව අමෙරිකාවේ මී මැසි ජනපද වාර්ෂිකව අඩු වන බවටයි අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව නිපදවූ මෙම එන්නත මී වදයේ රැජින ආශ්‍රිත ප්‍රදේශයට එන්නත් කිරීමට නියමිතයි. එමඟින් මී මැසි ගහණයට බලපෑම් කරන බැක්ටීරියාව විනාශ කිරීම අපේක්ෂාව වනවා.

පරාග වාහකයින් ලෙස මී මැස්සන් පරිසර පද්ධතිය පවත්වාගෙන යාමට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානයට අනුව ලෝකයේ භෝග නිශ්පාදනයෙන් 3න් 1කට මී මැස්සන්, කුරුල්ලන් හා වවුලන් වැනි පරාග වාහකයින් ඍජු දායකත්වයක් දක්වා තිබෙනවා. එමෙන්ම විවිධ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු සඳහා ද මී පැණි ලබා ගැනීම  බහුලව සිදු වනවා.