Tuesday, May 21, 2024

General line - 0115112241

රජ පවුලේ සංවේදී රහස් රැසක් හැරී කුමරු හෙළි කරයි




බ්‍රිතාන්‍යයේ හැරී කුමරු විසින් රජ පවුලේ අතිශය පෞද්ගලික හා සංවේදී රහස් රැසක් අනාවරණ කර තිබෙනවා. ඒ, ඉදිරි සතියේදී එළි දැක්වීමට නියමිත ඔහුගේ ස්වයං චරිතාපදානය වන (Spare) නම් ග්‍රන්ථයේ තොරතුරු අද විදෙස් මාධ්‍ය විසින් අනාවරණ කිරීමත් සමඟයි. 

එම ග්‍රන්ථය මඟින් ඔහු සිය මව වන ඩයනා කුමරියගේ අහිමිවීම, සිය පියා වන චාල්ස් රජුගේ දෙවන විවාහය හා සිය සහෝදරයා වන විලියම් කුමරු සමඟ පැවති ගැටුම්, මත්ද්‍රව්‍ය භාවිතය හා ප්‍රේම සබඳතා වැනි අතිශය පෞද්ගලික තොරතුරු හෙළි කර තිබෙනවා. එමෙන්ම, ඇෆ්ගනිස්ථානයේදී හමුදා සෙබලෙකු ලෙස කටයුතු කළ සමයේ සිය අත්දැකීම්ද අදාළ ග්‍රන්ථයට ඇතුළත් කර ඇතැයි සඳහන්. 

බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ ස්වයං චරිතාපදානයේ තොරතුරු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය අද වාර්තා කර තිබුණේ ඩයනා කුමරියගේ මරණයෙන් පසු සිය පියා වන චාල්ස් රජු දෙවන වරටත් විවාහ වීමට ඔහු අකමැත්තෙන් පසු වූ බවයි. තමන් මෙන්ම විලියම් කුමරුද සිය පියාට කැමිලා පාර්කර් විවාහ කර නොගන්නා ලෙස ඉල්ලා සිටි බවද ග්‍රනථය තුළ සඳහන්. 

එසේ ඉල්ලා ඇත්තේ කැමිලා රැජින දුෂ්ඨ සුළු මවක් වේ යැයි යන බිය හේතුවෙන් බව අදාළ ග්‍රන්ථයේ සඳහන් කර තිබෙනවා. ඩයනා කුමරිය පිළිබඳ යළි යළිත් තොරතුරු රැසක් ග්‍රන්ථය තුළ ඇතුළත් කිරීම හරහා තම මව අහිමි වීමේ ශෝකයේ ගැඹුරු බව මනාව පෙන්නුම් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ. 1997දී ඩයනා කුමරිය මිය යන විට හැරී කුමරුගේ වයස අවුරුදු 12ක්.

තම සහෝදරයා වන විලියම් කුමරු තමන්ට ශාරීරික වශයෙන් පහර දුන් බවට හැරී කුමරු පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. ඊට හේතු වී ඇත්තේ විලියම් කුමරු හැරී කුමරුගේ බිරිඳ වන මේගන් විවේචනය කිරීමයි. 

තමන් අවුරුදු 17දී මත්ද්‍රව්‍ය භාවිත කළ බවද හැරී කුමරු මෙහිදී පිළිගෙන තිබෙනවා. 2012 , 2013 කාලයේදී හෙලිකොප්ටර් නියමුවෙකු ලෙස කටයුතු කළ සමයේ ඇෆ්ගනිස්ථානයේදී තලෙයිබාන් සටහන් කාමීන් 25 දෙනෙකු ඝාතනය කළ බවයි සිය චරිතාප්‍රදාන ග්‍රන්ථයෙන් හැරී සඳහන් කර ඇත්තේ.

සිය බිරිඳ වන මේගන් පිළිබඳ ප්‍රසංශනාත්මක සටහන් රැසක් ග්‍රන්ථය තුළ ඇතුළත් වුවද සිය පියා වන චාල්ස් රජු හෝ විලියම් කුමරු පිළිබඳ එවැනි කිසිවක් ග්‍රන්ථය තුළ සඳහන්ව නැහැ. එමෙන්ම රජ පවුලේ තරුණ රාජකීයෙකු ලෙස ගත කළ සමයේ දැනුණු වේදනාව මෙන්ම රජ පවුලේ ක්‍රියා කලාපයේ ඇති දුෂ්කරතාද එම ග්‍රන්ථය මඟින් ඔහු හෙළි කර ඇතැයි සඳහන්. කෙසේ වෙතත් එම ග්‍රන්ථය පිළිබඳ කිසිදු අදහසක් බකින්හැම් මාළිගයේ හෝ රජ පවුල විසින් නිළ වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ. 

හැරී කුමරුගේ ස්වයං චරිතාපදානය වන (Spare) නම් ග්‍රන්ථය ජනවාරී 10 වැනිදා බ්‍රිතාන්‍යය සහ අමෙරිකාවේ නිල වශයෙන් ප්‍රකාශයට පත්වීමට නියමිතව තිබියදී එහි තොරතුරු මෙලෙස අනාවරණ වූයේ ග්‍රන්ථයේ ස්පාඤ්ඤ පිටපතක් අත්වැරදිමකින් අලෙවි වීමත් සමඟයි.