Wednesday, May 22, 2024

General line - 0115112241

ජනපතිවරයෙකුට මුත්‍රා පහවූ වීඩියෝවක් නිසා මාධ්‍යවේදීන් 06 දෙනෙකු රඳවා තබා ගනියි (VIDEO)




නිල උත්සවයකට සහභාගිවූ ජනාධිපතිවරයෙකුට ඔහු ඇද සිටි කලිසමේ මුත්‍රා පහවී ඇති අයුරු දැක්වෙන වීඩියෝ පටයක් නිකුත් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් 06 දෙනෙකු රඳවා තබා ගැනීමේ පුවතක් දකුණු සුඩානයෙන් වාර්තා වනවා.

71ක් හැවිරිදි දකුණු සුඩාන ජනාධිපති සල්වා කීර් පසුගිය දෙසැම්බර් මාසයේදී පැවති මාර්ග ඉදිකිරීමක් ආරම්භ කිරීමේ නිල උත්සවයකට සහභාගිවී සිටි අතර එහිදී ජාතික ගීය ගායනා කිරීමට නැගිට සිටින විට ඔහු ඇද සිටි අළු පැහැති කලිසමේ අදුරු පැල්ලමක් පැතිරී ඇති ආකාරය එම වීඩියෝ දර්ශනවල දක්නට ලැබෙනවා.

මෙම වීඩියෝව කිසි විටෙක රූපවාහිනියේ විකාශය නොවූ නමුත් පසුව සමාජ මාධ්‍යවල සංසරණය වීමත් සමග එම උත්සවය ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන් 06 දෙනෙකු එලෙස එරට ආරක්ෂක අංශ විසින් රඳවා තබා ගෙන ඇති බවයි ජාතික මාධ්‍යවේදීන්ගේ සංගමය ඊයේ ප්‍රකාශ කර සිටියේ.

දකුණු සුඩාන මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති පැට්‍රික් ඔයෙට් සඳහන් කලේ රාජ්‍ය පාලනය යටතේ පවතින දකුණු සුඩාන ගුවන්විදුලි සංස්ථාව සමඟ සේවය කරන මාධ්‍යවේදීන් එලෙස රඳවා තබා ගෙන ඇති බවයි.

"ජනාධිපතිවරයාට මුත්‍රා පිටවූ වීඩියෝව සමාජ මාධ්‍ය වෙත නිකුත් වුයේ මෙම මාධ්‍යවේදීන් දැනුවත් භාවයෙන් ද යන්න සොයා බැලීම සඳහා එලෙස ඔවුන් රඳවා ගන්නට ඇති " බවයි දකුණු සුඩාන මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති පැට්‍රික් ඔයෙට් රොයිටර් පුවත් සේවයට සඳහන් කළේ.

2011 වසරේ දකුණු සුඩානය නිදහස ලබා ගත් දා සිට කීර් ජනාධිපතිවරයා ලෙස කටයුතු කර ඇත. ජනාධිපතිවරයා අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කටකතා දකුණු සුඩාන රජයේ නිලධාරීන් ප්‍රතික්ෂේප කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.