Tuesday, May 14, 2024

General line - 0115112241

රදැල්ල අනතුර සිදු වූ මාර්ගයේ බර වාහන ධාවනයත් තාවකාලිකව තහනම් කෙරේ

රංජිත් රාජපක්ෂ




නුවරඑළිය රදැල්ල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරෙන් තුවාල ලැබූවන් අවශ්‍ය වුවහොත් කොළඹට රැගෙන ඒම සඳහා ගුවන් හමුදාව විසින් හෙලිකොප්ටරයක් සූදානම් කර තිබෙනවා. ඒ අනුව රත්මලාන ගුවන් හමුදා කඳවුරේ එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටරයක් සූදානම් කර ඇති බවයි ගුවන් හමුදාව පැවසුවේ.

අනතුරට ලක් වූ සිසුන්ට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද ඊයේ රාත්‍රියේම උපදෙස් ලබා දෙනු ලැබුවා. 

අධ්‍යාපන චාරිකාවක නිරත වී සිටි කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ළමුන් පිරිසක් රැගත් බස් රථයක් වෑන් රථයක හා ත්‍රීරෝද රථයක ගැටී මාර්ගයෙන් ඉවතට පැන ඊයේ රාත්‍රියේ ප්‍රපාතයකට පෙරලුනේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල ප්‍රදේශයේදීයි.

අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයන් 6 දෙනෙකු හා ත්‍රීරෝද රථයේ රියදුරා ජීවිතක්ෂයට පත්වුණා. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිරිමි පුද්ගලයින් 4 දෙනෙකු සහ ගැහැණු පුද්ගලයන් 3දෙනෙකුයි. ඒ අතර වයස අවුරුදු 13ක පිරිමි ළමයෙක්, අවුරුදු 8ක සහ  12ක ගැහැණු ළමුන් දෙදෙනෙකුද සිටින බවයි පොලිසිය පැවසුවේ. 

අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 53දෙනා තවදුරටත් නුවරඑළිය මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. ඉන් එක් පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියේ. 

අනතුරට ලක්වූ කොළඹ තර්ස්ටසන් විද්‍යාලයේ සිසුන් 41 දෙනාට මෙන්ම ගුරුවරුන් දෙදෙනාට සහ මවුපියන් දෙදෙනාට බරපතල තුවාල සිදුව නොමැති බවද ප්‍රකාශ කෙරුණා.

ඔවුන්ගේ සුවදුන් විමසීම සඳහා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මේවනවිට නුවරඑළිය රෝහලට පැමිණ ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. එමෙන්ම කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ආදි සිසුන් ඇතුළු කණ්ඩායම් කිහිපයක්ද නුවරඑළිය රෝහල බලා පිටත්ව ගොස් ඇති බව කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ සඳහන් කළා.

මේ අතර මෙම අනතුර සිදු වූ නුවරඑලිය හැටන් ප්‍රධාන මාර්ගයේ නානුඔය කෙටි මාර්ගයේ බර වාහන ධාවනය තාවකාලිකව තහනම් කර තිබෙනවා.

නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ පැවසුවේ අධික බැවුම් සහිත මාර්ගයක් වන එහි මීට පෙර රිය අනතුරු කිහිපයක්ම සිදුව ඇති බවයි. ඒ පිළිබඳව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ සහ නානුඔය පොලිසිය තමන්ගෙන් කල ඉල්ලිමක් මත නානුඔය කෙටි මාර්ගයේ බර වාහන ධාවනය තාවකාලිකව තහනම් කිරීමට පියවර ගත් බවද දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියා.

එම මාර්ගයේ ගමන් ගන්නා බර වාහන නානුඔය කිරිමැටිය මාර්ගය ඔස්සේ ධාවනය කරන ලෙසත්, නානුඔය කෙටි මාර්ගයේ බර වාහන ධාවනය සම්පුර්ණයෙන්ම තහනම් කිරිම සම්බන්ධයෙන් අදාල පාර්ශව සමග සාකච්ඡා කරන බවත් ඔහු සඳහන් කළා. 

මේ අතර පන්විල මඩොල්කැලේ සිට උණනගල දක්වා වූ මාර්ගයේ ඩී ජී එම් වතු බංගලාව ආසන්නයේදීද ඊයේ බස් රථයක් පෙරළී තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ එම බස් රථයේ 28 දෙනෙකු ගමන් කර ඇති අතර ඉන් තුවාල ලැබූ 20 දෙනෙකු මඩොල්කැලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය පැවසුවේ.

එම පිරිසෙන් එක් පුද්ගලයෙකු හා කාන්තාවන් 7 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහල වෙත මාරුකර තිබෙනවා. පන්නිල ප්‍රදේශයේ ඇගලුම්හලක සේවකයින් පිරිසක් රැගත් බස් රථයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ. අනතුරට හේතුව බස් රථයේ තිරිංග අක්‍රීය වීම බවද දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණ වූ බවයි පොලිසිය පැවසුවේ.