Friday, March 29, 2024

General line - 0115112241

කැලිෆෝනියා වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුගේ සිරුර සොයාගැනේ




අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් නුවරට ආසන්න මොන්ටෙරේ උද්‍යානයේදී සිදුවූ වෙඩි තැබීම සිදු කළ බවට සැක කෙරෙන පුද්ගලයාගේ සිරුර සොයාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සුදු පැහැති වෑන් රථයක තිබී එම සැකකරුගේ සිරුර සොයාගෙන ඇති බවයි. මොන්ටරේ උද්‍යානයේ සිදු කළ වෙඩි තැබීමෙන් පසු එම සැකකරු අදාළ වෑන් රථය තුළදී තමන්ටද වෙඩි තබාගෙන මිය යන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. 

සැකකරු සිදුකළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් 10 දෙනෙකු පමණ තුවාල ලැබුවා. වෙඩි තැබීම සිදුවූ මොන්ටෙරේ පාක් ප්‍රදේශය ආසියානු සම්භවයක් සහිත ජන කොටස් වැඩි වශයෙන් ජීවත්වන ප්‍රදේශයක් ලෙසයි සැලකෙන්නේ. එහි චීන නව අවුරුදු උදාව වෙනුවෙන් පැවති උත්සවයක් අතරතුර එම වෙඩි තැබීම සිදුව තිබුණා.  

සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස් ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකාවේ තුවක්කු ප්‍රචණ්ඩත්වය නතර කළ යුතු බවයි.  සිද්ධියෙන් මිය ගිය හා තුවාල ලැබූ පුද්ගලයන් පිළිබඳ අමෙරිකානු රජයේ බලවත් ශෝකය පළ කරන බවද අමෙරිකානු උප ජනාධිපතිවරිය ප්‍රකාශ කර තිබෙනවා.