Wednesday, May 15, 2024

General line - 0115112241

මහා භාණ්ඩාගාරයට බිලියන 03 ක පරිත්‍යාගයක්




ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 03 ක් ලබාදීමට අදාළ චෙක්පත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් අද (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් භාර දුන් බව වාර්තා වෙනවා.

රටේ පවතින ආර්ථික තත්ත්වය සැළකිල්ලට ගෙන අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම, රාජ්‍ය සේවක වැටුප් ගෙවීම,  වී මිලදී ගැනීම ඇතුළු අත්‍යාවශ්‍ය කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගිය වසරේදී ලැබූ මෙහෙයුම් අතිරික්තයෙන් මෙම මුදල ලබා දී තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන්  මීට පෙර වරින් වර මහා භාණ්ඩාගාරයට ලබා දී ඇති මුළු මුදල රුපියල් මිලියන 3382 ක් වන අතර එකවර රුපියල් බිලියන තුනක් ලබා දුන් ප්‍රථම අවස්ථාව මෙය බවයි සඳහන් වන්නේ.

මේ අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පිළිකා රෝහලට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට රුපියල් මිලියන 500 ක ප්‍රදානයක් සිදු කිරීමට පියවර ගෙන ඇති අතර ඉන් රුපියල් මිලියන 100 කට අදාළ චෙක්පත ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුව එම චෙක්පත සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත භාරදී තිබේ.