Wednesday, May 15, 2024

General line - 0115112241

විදුලි කප්පාදු කාල සිමාව්දී විකල්ප ක්‍රමවලට යන්න - විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි




විදුලි කප්පාදුව සිදුකරන කාලසීමාවේදී විකල්ප ක්‍රම හරහා විදුලිය සපයා ගන්නා ලෙස විභාග දෙපාර්තමේන්තුව විසින් විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වෙත දැනුම් දී තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් කළ විමසීමකදි කියාසිටියේ ඊට අදාළ සහාය ලබාදෙන ලෙස විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇති පාසල්වල විදුහල්පතිවරුන්ටද දැනුම් දී ඇති බවයි.

2022 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඊයේ ආරම්භ වුණා. විභාග මධ්‍යස්ථාන 2,200 කදී පැවැත්වෙන මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අයදුම්කරුවන් සංඛ්‍යාව තුන්ලක්ෂ 31,709 ක්. විභාග රාජකාරී සදහා යොමු කර ඇති කාර්ය මණ්ඩලය විසි දහසක් පමණ වනවා.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර ලබාදීම සහ අනෙකුත් ලිපි ද්‍රව්‍ය විභාග මධ්‍යස්ථාන වෙත සැපයීම ශාලාධිපතිවරුන් සම්බන්ධීකරණය ඇතුළු විභාග ක්‍රියාවලිය පවත්වාගෙන යාම සදහා අදාළ සියළු කටයුතු පැය විසි හතර පුරා සම්බන්ධීකරණය සිදුවන්නේ විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන හරහායි.

එහි රාජකාරි සදහා නිලධාරියෙකු ඇතුළු තිදෙනෙක් දෛනිකව යොදවනු ලබනවා. ඊට අමතරව පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බැගින් සම්බන්ධීකරණ මධ්‍යස්ථාවල ආරක්‍ෂාවට යොදවා තිබෙන බවයි විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.