Wednesday, May 15, 2024

General line - 0115112241

රියැදුරන්ට විශේෂ දැනුම් දීමක්




කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ සිට අඹේපුස්ස දක්වා වූ කොටසේ වාහන ගමනාගමනය අද සිට එක් මංතීරුවකට සීමා කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. එම කොටසේ කාපට් ඇතිරීමට නියමිත බැවින් අද සිට පෙබරවාරි මස 01 වනදා දක්වා එලෙස වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කරන බවයි එම අධිකාරිය පැවසුවේ. 

ඒ අනුව එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින් වරකාපොළ සිට අඹේපුස්ස දක්වා කොටස හරහා ගමන් කිරීමට අපේක්ෂිත රථවාහන රියදුරන් සහ ජනතාව හැකිතාක් විකල්ප මාර්ග භාවිත කළ යුතු බවයි පොලීසිය පැවසුවේ.

ඒ අනුව මහනුවර දෙස සිට කොළඹ දෙසට පැමිණෙන රථවාහන මාවනැල්ල - රඹුක්කන මාර්ගයේ පැමිණ කුරුණෑගල දක්වා ගමන් කර අධිවේගී මාර්ගයේ හෝ සාමාන්‍ය මාර්ගය ඔස්සේ මීරිගම හරහා පස්යාල හංදියට පිවිස හෝ කෑගල්ලට පැමිණ පොල්ගහවෙල, අලව්ව, මීරිගම හරහා පස්යාල හංදියට පිවිස කොළඹ දෙසට ගමන් කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. 

එමෙන්ම කොළඹ දෙස සිට මහනුවර දෙසට පැමිණෙන රථවාහන පස්යාල හංදියෙන් මීරිගම හරහා අධිවේගී මාර්ගය හෝ සාමාන්‍ය මාර්ගය ඔස්සේ කුරුණෑගලට පැමිණ මහනුවර දෙසට ගමන් කළ හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙන්නේ.