Wednesday, May 15, 2024

General line - 0115112241

ලංගම රියැදුරුගේ බෝතල් ප්‍රහාරයෙන් කොන්දොස්තර ජිවිතක්ෂයට 

ටී.කේ.ජී.කපිල




මොණරාගල සිට කටුනායක වෙත පැමිණෙන ශ්‍රීලංගම දුර ගමන් සේවා බස් රථයේ සේවයේ නියුතු කොන්දොස්තරවරයෙකු එම බස් රථයේ රියැදුරුවරයා විසින් එල්ල කරන ලද වීදුරු බෝතල් ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසුව අද දින උදෑසන මිය ගොස් ඇති බව කටුනායක පොලීසිය පවසනවා. 

දිනපතා මොණරාගල සිට අලුයම 05.00 ට පිටත්වන මෙම බස් රථය කටුනායකට පස්වරු 02.30 පමණ වනවිට ළගා වන අතර ඉන්පසුව මෙම බස් රථය පසු දා අලුයම 05.00 ට මොණරාගල බලා පිටත්ව යන තෙක් කටුනායක ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක නවතා තබන බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

ඊයේ දින රාත්‍රී 07.30ට පමණ මොවුන් දෙදෙනා ආහාර ගැනීමට සූදානම් වී මත් පැනින් සප්පායම් වෙමින් සිටින අතරතුර දේශපාලන සංවාදයක් පටන් ගෙන ඇති අතර පසුව එය බහින්බස්වීමක් දක්වා උත්සන්න වීමත් සමග මෙම බස් රථයේ රියැදුරුවරයා අත තිබූ බෝතලයක් කඩා කොන්දොස්තරවරයාගේ ගෙල ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කර ඇත.

එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ 38 හැවිරිදි කොන්දොස්තරවරයා කටුනායක පොලීසිය වෙත පැමිණ , පැමිණිල්ලක් ද සිදු කර පසුව මීගමුව මහ රෝහල වෙත ප්‍රතිකාර සදහා ඇතුළු වී තිබේ.

එසේ මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොන්දොස්තරවරයා අද දින උදෑසන මිය ගොස් ඇති බව කටුනායක පොලීසිය වෙත රෝහල විසින් දැනුම් දී ඇත.

මොණරාගල බලා පිටත්ව යන ශ්‍රී ලංගම  බස් රථය අද දින කටුනායක සිට පිටත්ව ගොස් නොමැති අතර මෙම ප්‍රහාරය සිදු කළ 36 හැවිරිදි බස් රථයේ රියැදුරුවරයා ද මේ වනවිට කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

මෙම සිද්ධියට සම්බන්ධ රියැදුරුවරයා සහ කොන්දොස්තරවරයා ද මොණරාගල පිහිටි මාගන්දරමුල්ල නැමැති එකම ගමේ පදිංචිකරුවන් වන බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.