Tuesday, May 14, 2024

General line - 0115112241

යාපනයේ කල්ලි දෙකක් අතර බිහිසුණු ගැටුමක් (PHOTOS)

මාධව කුලසූරිය - වවුනියාව




යාපනයේ ක්‍රියාත්මක කල්ලි දෙකක් සිනමා දර්ශනවල පවතින ආකාරයට යාපනය, චුන්නාකම් ප්‍රදේශයේදී අද (24) දහවල් වාහන දෙකක් එකිනෙක හප්පා ගනිමින් සිදුකරගත් ගැටුමකින් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

කල්ලි දෙකක් අතර වු ගැටුමක් මත අදාළ කල්ලි සාමාජිකයින් ගමන්ගත් කැබ් රථයක් හා මෝටර් රථයක් එකිනෙක හප්පාගෙන ඇති අතර වාහන හප්පාගැනීමෙන් අනතුරුව දෙපිරිස ගුටිබැට හුවමාරුවක්ද සිදුකරගෙන ඇති බවයි සිද්ධිය ඇසින් දුටුවන් ප්‍රකාශ කර සිටියේ.

යාපනය, චුන්නාකම් පොලිසිය පැවසූවේ වාහන දෙකක් අනතුරට ලක්ව ඇති අතර අනතුරින් පසුව දෙපිරිසක් එකිනෙකාට පහරදි ගැනීමෙන් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

තුවාලකරුවන් යාපනය රෝහලට ඇතුළත් කොට ඇති අතර අනතුරින් වාහන දෙකට බරපතල හානි සිදුව ඇති බවද පොලිසිය පැවසුවේ.

යාපනය ප්‍රදේශවාසීන් පැවසූවේ වික්ටර් කල්ලිය නමින් හදුන්වන කල්ලියක් හා තවත් කල්ලියක් අතර වු ගැටුමක ප්‍රතිඵලයක් මත වාහන දෙක හප්පාගෙන ඇති බවයි.

මීට පෙරද අවස්ථා ගණනාවකදි යාපනය ප්‍රදේශයේ කල්ලි සාමාජිකයින් අතර විවිධ ගැටුම් හටගෙන තිබු අතර එහිදි පුද්ගලයින් රැසක් තුවාල ලබා තිබුණා.

යාපනය ආරක්ෂක අංශ පැවසූවේ වික්ටර් කල්ලිය,ධනු කල්ලිය, ආවා කල්ලිය, අජිත් කල්ලිය යන නමින් යාපනය ප්‍රදේශයේ මංකොල්ලකෑම්, පහරදීම්, පුද්ගල බිය වැද්දීම් සිදුකරන කල්ලි රැසක් ක්‍රියාත්මක වන බවයි.