Wednesday, April 24, 2024

General line - 0115112241

කොමිෂන් සභා පත් කිරීම ගැන කථානායකගෙන් නෙත් නිවුස් වෙත අනාවරණයක්



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් අද පෙරවරු 09 යි 30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙනවා. ඒ, එම සභාවේ සභාපතිවරයා වන කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවීමෙන් පසු එම සභාව රැස්වන පළමු අවස්ථාව මෙයයි. කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා නිල බලයෙන් එහි සාමාජිකයින් වන අතර ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයාගේ නියෝජිතයින් ලෙස මන්ත්‍රීවරුන් 03 දෙනෙකු ද ඊට ඇතුළත් වනවා. සුළු පක්ෂ නියෝජනය කරමින් තවත් මන්ත්‍රීවරයෙකු එම සභාව නියෝජනය කළ යුතුයි. සිවිල් සමාජ නියෝජනය කරමින් සෙසු සාමජිකයින් තිදෙනා පත් කර ගැනෙනවා.  

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජය නියෝජනය කරන සිවිල් සමාජ නියෝජිතයින් ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය ප්‍රතාප් රාමානුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර සහ නීති අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන ආචාර්ය දිනේෂා සමරරත්න ඉකුත්දා පත් කර ගැනුණා. 

මේ අතර අද පැවැත්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී එහි ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් ස්වාධීන කොමිෂන් සභා අළුතින් පත් කිරීම පිළිබඳ අද දිනයේ යම් තීරණයක් ගැනීමේ ඉඩකඩක් ඇති බවට ඇතැම් පාර්ශව මත පළ කර තිබුණා. 

කෙසේවෙතත් ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ගැන අද පැවැත්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී තීරණයක් නොගන්නා බවයි කථානායකවරයා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී වැඩිදුරටත් සඳහන් කළේ.