Friday, March 29, 2024

General line - 0115112241

උසස් පෙළ විභාග සමයේ බාධාවකින් තොරව විදුලිය දෙන්න තවත් විශේෂ සාකච්ඡාවක්




අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ බාධාවකින් තොරව විදුලි සැපයුම ලබාදීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද පස්වරු 04 ට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති, ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරුන් මෙන්ම ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ ද සභාපතිවරුන් සහභාගිවීමට නියමිතයි.

දැනට ක්‍රියාත්මක වන විදුලි කප්පාදුව ඔස්සේ උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ගේ අධ්‍යාපන අයිතියට බාධාකාරී තත්ත්වයන් පැමිණ ඇති බවට මානව හිමිකම් කොමිෂන් සභාවේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා.

ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශ ලේකම්වරයා සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා අද උදෑසන මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේ ගනු ලැබූ තීරණයකට අනුවයි අද පස්වරුවේ මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වීමට තීරණය වී ඇත්තේ.